ඩුබායි ගිය මලල ක්‍රීඩා පොඩ්ඩෝ පදක්කම් 5ක් දිනති

ඩුබායිහිදී පැවති 21 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී පදක්කම් 5 දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඊට රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක් ඇතුළත් විය.

ශ්‍රී ලංකාවට තනි ඉසව්වකින් හිමි වූ එකම පදක්කම දිනා ගැනීමට කාන්තා තුන්පිම්ම ඉසව්වට එක්වූ නෙත්මිකා මධුෂානි සමත් වූයේ මීටර් 13.01ක දක්ෂතාවකිනි. එය රිදී පදක්කමක් වූ අතර, පිරිමි මීටර් 100 සහාය ඉසව්වෙන් අනෙක් රිදී පදක්කම ශ්‍රී ලංකාවට හිමි වූ අතර, කෞෂාල් තමෙල්, ඉඳුවර වීරත්න, ඉදුසර විදුෂාන් සහ මෙරෝන් විජේසිංහ ඊට එක් වූහ. ඔවුන් වාර්තා කළ තත්පර 39.81ක කාලය නව ජාතික කනිෂ්ඨ (20න් පහළ) වාර්තාවක් බවට ද පත් විය.

මීටර් 400 කාන්තා (3:46.20), පිරිමි සහ මිශ්‍ර සහාය ඉසව් ත්‍රිත්වයෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් හිමි විය. එහි කාන්තා ඉසව්වට ජිත්මා විජේතුංග, මහීමා ප්‍රවින්දි, චාරුණි ප්‍රමුධිකා සහ නුහංසා කොඩිතුවක්කු ඇතුළත් වූ අතර, පිරිමි තරගයට (3:09.48) අවිශ්ක රාජපක්ෂ, ඔමෙල් ශෂින්ත, හසිඳු නෙත්සර සහ ජාත්‍ය කිරුළු එක් වූහ.

එම කණ්ඩායම් දෙකට එක්ව සිටි ජත්‍ය, ජිත්මා, අවිශ්ක සහ නුහංසා එක්ව මිශ්‍ර සහාය (3:28.18) ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්හ.