උමා ඔයේ කාන්දුවක් ඇත්නම් එය නැවැත්විය හැකියි

එය අනුමත කළ නොහැකි බව හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය අතුල සේනාරත්න කියයි උමා ඔය ව්‍යාපෘතිය යටතේ ඉදිකළ භූගත උමං මාර්ගයේ ජල කාන්දුවක් සිදුවන්නේ නම් එය වැළැක්වීම සඳහා ඉතා පහසු ක්‍රියාමාර්ග තිබෙන බැවින් කෙන්දක් වැනි ගැටලුව කන්දක් ලෙස පෙන්වා ජාතික ජන බලවේගය මේ අවස්ථාවේ ජනතාව භීතියට පත්කර දේශපාලන වාසි ගැනීමට උත්සහ කිරීම අනුමත කළ නොහැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න පවසයි.

යෝධ සංවර්ධන ව්‍යාපෘතියක් විවෘත කරන අවස්ථාවේ මේ ආකාර සුළු ගැටලු මතුවීම සාමාන්‍ය සංසිද්ධියක් බවත් මෙවැනි තත්ත්ව ලෝකයේ දියුණු රටවල පවා දක්නට ලැබෙන බවත් ඒ මහතා කීය.

පොළොව අභ්‍යන්තරයේ සිට ජලමතුවීමත් සමඟ කරඳගොල්ල ප්‍රදේශයේ දක්නට ලැබෙන නාය යෑමේ ලක්ෂණවලට හේතුව උමං මාර්ගයේ සිදුවන කාන්දුවක් නැතහොත් ප්‍රදේශයේ පැරණි ජල උල්පත් සක්‍රිය වීම ද යන්න පරීක්ෂණ මඟින් තහවුරු කර ගත යුතුව තිබෙන බව ද හෙතෙම අවධාරණය කළේය.

උමා ඔය ව්‍යාපෘතිය යටතේ උමං මාර්ගයේ කැණීම් ආරම්භ කිරීමත් සමඟ ප්‍රදේශයේ උල්පත් සිඳී ගොඩනැගිලි ගිලා බැසීමට ලක් වූ බවත් එම අවස්ථාවේ දී ද තමන් එය පරික්ෂා කර ඉදිකිරීම් අවසන් වීමත් සමඟ මෙම ප්‍රශ්න ක්‍රමානුකූලව නිරාකරණය වන බව පැවැසූ බවත් සේනාරත්න කීවේය.

උමං මග තැනීමේ දී උල්පත් ජලය ඒ තුළට කාන්දු වීමෙන් පස සංකෝචනය වන බවත් මේ නිසා ගොඩනැඟිලි ඉරි තැළීම, ගිලා බැසීම, ළිං සිඳීම වැනි ලක්ෂණ මතුවන බවත් කී මහාචාර්යවරයා ව්‍යාපෘතිය නිමකර උමං මාර්ගය සීල් කිරීමෙන් පසු අදාළ තත්ත්වය වෙනස් වී පෙර පැවැති තත්ත්වයට ප්‍රදේශය පත්වන බව ද අවධාරණය කළේය.

අලුතින් නළ ජල මාර්ගයක් සකස් කළ පසු එහි කාන්දු වීම් පැහැදිලිව නිරීක්ෂණය වන්නේ ඒ තුළින් ජලය ගමන් කිරීම ආරම්භ කිරීමෙන් පසුව බවත් උමා ඔය භූගත නළ මාර්ගයේ කාන්දුවක් ඇත්නම් ඉතා පහසුවෙන් එය හඳුනාගෙන ස්ථිර විසඳුම් ලබාදීමේ හැකියාව තිබෙන බවත් දේශපාලන වාසි සඳහා ඇතැම් පිරිස් කරන නොමඟ යැවීම්වලට නොරැවටෙන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පැවැසුවේය.

ව්‍යාපෘතිය ආරම්භ කළ අවස්ථාවේ ජනතාව උසිගන්වා එහි වැඩකටයුතු නතර කිරීමට උත්සහ කළ අය නිරතුරුව බලා සිටින්නේ මෙහි අඩුපාඩුවක් දකින්නට බවත් රටට විශාල ලෙස ප්‍රතිලාභ හිමිවන මෙවැනි ව්‍යාපෘති නතර වුවහොත් විදුලි නිෂ්පාදනය සඳහා අධික පිරිවැයක් දරන්නට සිදුවීමේ ප්‍රතිවිපාක අත්විඳින්නට සිදුවන්නේ ජනතාවට බවත් මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.