බොහෝ කලක් ඔත්පළව ඇඳක වැතිරී සිටීමට සිදු වීම හේතුවෙන් ඇඳ තුවාල (bed sores) ඇති වන බව වෛද්‍ය මතයයි. එනිසාම එසේ දිගු කලක් ඇඳක රඳවනු ලබන රෝගීන් වරින් වර දෙපස පෙරළීමට ගිලන් සත්කාරක සේවයේදී නිරන්තර උපදෙස් දෙනු ලැබේ. එහෙත් ඇතැම් ගිලනුන්ගේ රෝගි ස්වභාවය හේතුවෙන් එසේ සිදු කළ නොහැකි අවස්ථාද වාර්තා වේ. එසේම මේ තත්ත්වයන් ඔඩු දිවීම හෙතුවෙන් රෝගීන් මියැදුණ අවස්ථාද දුලබ නොවේ.
එවන් ඛේදජනක රෝගි තත්ත්වයකට පිළියමක් සොයාගැනීමට කුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ සිසු දරුවකු සමත් වී තිබේ. මේ සුවිශේෂ සිසුවා නම් එම විද්‍යාලයේ උසස් පෙළ ගණිත අංශයෙන් ඉගෙනුම ලබන චිරාත් ආදිත්‍ය බිම්සර සේනානායකයි. තම නැන්දණිය රෝහලේ සේවය කරමින් ලද අත්දැකීම් හා තම සීයා ඇඳ තුවාල මඟින් විඳි පීඩා දැකීමෙන් හට ගත් කම්පනය හේතුවෙන් තමා එවැන්නක් නිපදවීමට පෙලඹවූ බවද චිරාත් සිසුවා ප්‍රකාශ කළේය.
ඇඳ තුවාල සඳහා පිළියමක් ලෙස චිරාත් ශිෂ්‍යයා විශේෂ මෙට්ට ආවරණයක් නිපදවා ඇති අතර, එමඟින් රෝගියාගේ කුෂ්ඨ එතැයි සිතිය හැකි ස්ථාන හඳුනාගෙන උෂ්ණාධික ස්ථාන සිසිල් කරවමින් සම්බාහන ක්‍රියාවලීන් සමඟ යථා තත්ත්වයට පත් කිරීමට හැකියාවක් ඊට ඇත. මේ මෙට්ට කවරය ශරීරයේ කොටස් 6කට බෙදා වෙන් කර, ඒ කොටස් සඳහා වෙන වෙනම සායනික උපකාරය කළ හැකි අන්දමින් එම මෙට්ට කවරය නිපදවූ බව චිරාත් ශිෂ්‍යයා පවසයි.
මෙහිදී එකම මෘදුකාංගයකින් වාට්ටුවක ඇඳන් 50ක වුවත් මෙට්ටා මත යොදවන මේ ආවරණය පාලනය කර එක් එක් රෝගියාට අවශ්‍ය සම්බාහනය සහිත සිසිල් කරවීම එකම අවස්ථාවක සිදු කළ හැකි අතර, දින ගණනාවක් පසුපසට වුවද ඒ හා සම්බන්ධ වාර්තා ලබාගැනීමේ හැකියාව ඇති බව චිරාත් සිසුවා පැවසීය.
තම නිර්මාණය පිළිබඳ චිරාත් වැඩි දුරටත් පළ කළේ මෙවැනි අදහසකි:
“මම ඉගෙනුම ලබන්නෙ ගණිත අංශයේ. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පැවැත්වුණ නව නිපැයුම් තරගාවලියෙදි සෞඛ්‍ය අංශය වෙනුවෙන් මා කළ මේ නිර්මාණය දෙවැනි ස්ථානය දිනාගත්තා. මේ වන විට මේ නිර්මාණය හරහා අන්තර්ජාතික විද්‍යා හා ඉංජිනේරු තාක්ෂණ ප්‍රදර්ශනය සඳහා තේරී තිබෙනවා. නදීජ ප්‍රතිභාන, හර්ෂ මඩවල යන කොළඹ තර්ස්ටන් හා නාරම්මල මයුරපාදෙ සහෝදර සිසුන් දෙදෙනකු සමඟ අමෙරිකාවේ පැවැත්වෙන එම තරගයට සාර්ථකව මූණදෙන්න සූදානමින් ඉන්නෙ. එතනදි මම ඉදිරිපත් කරන නිර්මාණය වෙන්නෙ මෙට්‍රස් වෙන්ටිලේශන් සිස්ටම් එක. මේක ලෝකෙ ප්‍රථමවරට හොයාගත් බව තහවුරු වුණා. මේ ගමනෙදි මට මගේ විදුහල්පතිතුමා මාව උනන්දු කළ ආකරය මෙහි සඳහන් නොකර බැහැ. ඒ වගේම මේ සම්බන්ධව කටයුතු කරන ලසන්තා නයෝමි ගුරුමවත් සඳහන් කළ යුතුයි. ඒ වගේම මගේ අම්මා තාත්ත ඇතුළු බොහෝ දෙනකු දක්වපු සහයෝගය නොවෙන්න මට මේ වගේ දෙයක් නිර්මාණය කරන්න තව කාලයක් යන්න තිබුණා. මම කැමැතියි ප්‍රදර්ශන භාණ්ඩයක් විදිහට මේ දේ තබා නොගෙන නිෂ්පාදනයක් ලෙස හඳුන්වා දී, අඩුම මුදලකින් අපේ මේ සම්බන්ධව පීඩා විඳින අයට පිළිසරණක් වෙන්න.”
විදුහල්පති චමින්ද රන්දෙණි පැවසූයේ චිරාත් සිසුවාගේ මේ නිර්මාණය විද්‍යාලයේ පමණක් නොව ලොවම ලැබූ ජයක් බවයි. ඉලෙක්ට්‍රොනික් දත්ත ගෙන වෙනම ක්‍රමවේදයකින් නැවත රෝගියාට පිළිසරණක් වන ක්‍රියාදාමයක් මේ නිර්මාණය තුළ පවතින බව ප්රායෝගිකවම තමා දුටු බව පවසන විදුහල්පතිවරයා සාරානාත් විද්‍යාලය නිරන්තරයෙන් දරුවන්ගේ නව නිර්මාණ අගයන බවත්, විද්‍යාලයේ අනුග්‍රහයෙන් චිරාත් පුතණුවන් ලොස් ඇන්ජලීස් නුවර මැයි 11 දා පැවැත්වෙන ලෝක තරුණ විද්‍යාඥයා තේරීමේ තරඟයට ඉදිරිපත් වන අතර, මේ තරගයට යෑම සඳහා රුපියල් මිලියනයක් පමණ වැය වන බවත් පැවසීය. එහිදී විද්‍යාලය, ආදි ශිෂ්‍ය සංගමය සුබ පතන්නන්ගෙන් මේ මුදල සොයාගනිමින් පවතින අතර, තරුණ විද්‍යාඥයකු ලොවට දායාද කිරීම වෙනුවෙන් දායක වන්නට කැමැති අයට 0372281355 අංකයෙන් පාසල සම්බන්ධ කරගත හැකි බවද විදුහල්පතිවරයා ප්‍රකාශ කළේය. එමෙන්ම මේ නිර්මාණය නිෂ්පාදනය කර රටට ඩොලර් ගෙන ඒමටද හැකියාව පවතින අතර, ඒ සඳහා සාරානාත් විද්‍යාලය උපරිම දායකත්වය දක්වන බවද ඔහු පැවසීය.