අයිපීඑල් ක්‍රිකට් ඔට්ටු ඇල්ලීමේ සිද්ධියට චිත්‍රපට නළු සාහිල් ඛාන් අත්අඩංගුවට

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නිල විකාශන සමාගමේ අනුමැතියකින් තොරව නීති විරෝධී ලෙස තරග විකාශනය කිරීමෙන් හා ඔන්ලයින් ඔට්ටු ඇල්ලීමේ යෙදුමක් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් චිත්‍රපට නළු සාහිල් ඛාන් ඊයේ මුම්බායි පොලිසිය අත්අඩංගුවට ගත්තේය.

අත්අඩංගුවට නොගන්නා ලෙස ඔහු විසින් කරන ලද ඉල්ලීමක් මුම්බායි මහාධිකරණය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ පලා ගොස් සිටියදී පැය 40කට අධික මෙහෙයුමකින් පසු චත්තිස්ගාර් පොලිසියේ සහය ඇතිව නළුවා අත්අඩංගුවට ගත්තේය.

‘ස්ටයිල්’ සහ ‘එක්ස්කියුස් මී’ චිත්‍රපටවල රඟපෑ සහිල් ඛාන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයකු ලෙසද ජනප්‍රියවී සිටියේය. අයිපීඑල් තරගවලදී මහාදේව් ඔන්ලයින් ඔට්ටු ඇල්ලීමේ යෙදුම ඩුබායි සිට ක්‍රියාත්මක කොට ඇති බවත්, එමඟින් ඉන්දීය රුපියල් කෝටි 100ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 3.5ක) පමණ පාඩුවක් සිදුව ඇතැයි කියන පැමිණිල්ලට අදාළව පොලිස් විමර්ශන ආරම්භ කොට ඇත.

ඒ අනුව මහාරාෂ්ට්‍ර සයිබර් පොලිස් විමර්ශන අංශය විසින් නිළි තමන්නා භාටියාට සිතාසියක් යවා ඇති අතර, ඇය අද දිනයේ පොලිසිය හමුවේ කරුණු දැක්වීමට නියමිතය.

මේ නඩුවට අදාළව බොලිවුඩ් නළු සංජේ දත්ට පසුගිය 23 වැනිදා පෙනී සිටින ලෙස ඉල්ලා සිටියද ඔහු නොපැමිණ ඒ වෙනුවට, තම ප්‍රකාශය සටහන් කර ගැනීම සඳහා වෙනත් වේලාවක් නියම කරන ලෙස ඉල්ලා සිටියේය. චෝදනා ලැබ සිටින නළු නිළියන් වන සංජේ දත්, ජැකලින් ෆර්නෑන්ඩස් සහ රැප් ගායක බාද්ෂා සමඟ සම්බන්ධ පුද්ගලයන්ගේ ප්‍රකාශ ද පොලිසිය විසින් සටහන් කර ගෙන ඇත. එම ඔට්ටු ඇල්ලීමේ යෙදුම ප්‍රවර්ධනය කිරීම සඳහා අනුබල දුන් ප්‍රසිද්ධ පුද්ගලයන් 40කට වැඩි පිරිසක් විමර්ශනයට ලක්ව ඇති බව පොලිසිය ප්‍රකාශ කර ඇත.