“වසත් සිරිය 2024” අවුරුදු උත්සවය උත්කර්ෂවත්ව

  • ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන්ට වටිනා ත්‍යාග පිරිනැමේ.

“වසත් සිරිය – 2024” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් (27) දිනය පුරා කොළඹ ෂැංග්‍රිලා හරිත භූමියේ දී පැවැත්විණි.

“වසත් සිරිය 2024” අවුරුදු කුමරිය ලෙස අනුරාධපුර, මරදන්කඩවල සිට පැමිණි මාධවී ප්‍රාර්ථනා ජයලත් අභිෂේක ලැබු අතර දෙවන ස්ථානය කුරුණෑගල සිට පැමිණි කේ.පී. අයේෂා ජයසුන්දරත්, තෙවන ස්ථානය පන්නිපිටිය සිට පැමිණි ප්‍රභානි එදිරිසිංහත් විසින් දිනා ගනු ලැබීය.

“වසත් සිරිය 2024” අවුරුදු කුමරා ලෙස අභිෂේක ලැබුවේ එච්.ඩී. මියුරංගයි. දෙවන ස්ථානය එච්.ඒ. කෞශාන් සසංක සහ තෙවන ස්ථානය හලාවත සිට පැමිණි ඒ.එම්. හිරුෂ සංදීප විසින් දිනා ගනු ලැබීය.

අවුරුදු කුමරා සහ කුමරිය වෙනුවෙන් මුදලින් රුපියල් 100,000 බැගින් සහ රන් ආභරණ ත්‍යාග වශයෙන් හිමි විය. දෙවන ස්ථානය සඳහා රුපියල් 75,000ක මුදල් තිළිණයක් සහ සැනසිලි තෑගිද, තුන්වන ස්ථානය සඳහා රුපියල් 50,000ක මුදලක් සහ සැනසිලි ත්‍යාග ද පිරිනැමිණි. අවසන් වටයට තේරි පත් වූ අවුරුදු කුමර කුමරියන් වෙනුවෙන් සැනසිලි ත්‍යාග සහ සහතික පත් ද ලබා දීම සිදු විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකගේ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ මෙහෙයවීමෙන්, අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගනිමින් ජනාධිපති කාර්යාලයීය සේවක සුබ සාධක සංගමය විසින් අවුරුදු උත්සවය සංවිධානය කර තිබිණි.

රාජ්‍ය අංශය, විවෘත අංශය සහ ආගන්තුක අංශය යන කොටස් 03 යටතේ මෙහිදී තරග ඉසව් රැසක් පැවැත්වූ අතර අමාත්‍යාශ හා රාජ්‍ය ආයතනයන්හි කාර්ය මණ්ඩලවල සාමාජික, සාමාජිකාවන්, ඔවුන්ගේ පවුල්වල හිතවතුන් මෙන්ම දිවයිනේ විවිධ පළාත්වල ජනතාව විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

වැඩිහිටි ජනතාව සහ කුඩා ළමුන් ඉතා උනන්දුවෙන් තරග ඉසව් සඳහා එක්ව සිටී අතර ජයග්‍රහණය කළ සෑම අයෙකුටම තිළිණ ලබා දීම සිදු විය.

අතීත ගැමි සමාජයේ ගම සහ ගැමි ගෙදර අතර පැවති සුන්දර සබැඳියාව විදහා දක්වමින් ගැමි ගෙදරක් සහිත පරිසරයක අකෘතියක් ද මෙහි ප්‍රතිනිර්මාණය කර තිබුණු අතර කැවිලි පෙවිළි, ඇඳුම් පැළඳුම්, සිංහල අවුරුදු චාරිත්‍ර හා ගැමි ක්‍රීඩා ඇතුළු ප්‍රදර්ශනාත්මක අංග රැසක් ඊට ඇතුළත් කර තිබිණි. කතුරු ඔංචිල්ලා, උණ වෙඩි සංදර්ශන, කඩමණ්ඩිය සහ, වෙද ගෙදරකින් ද භූමිය විචිත්‍රවත් විය.

මෙම අවස්ථාවන් සඳහා විදෙස් තානාපතිවරුන්, තානාපති කාර්යාලවල නිලධාරීන් සහ විදෙස් සංචාරකයන්ද මහත් උනන්දුවෙන් එක්ව සිටී අතර ඔවුන් වෙනුවෙන් ද තරග ඉසව් රැසක් සංවිධානය කර තිබිණි.

අවුරුදු උළෙල පැවති භූමිය වෙත ඊයේ දහවල් පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහි සංචාරය කරමින් පැමිණ සිටි ජනතාව සමඟ සුහද පිළිසඳරක නිරත වූ අතර තරග ඉසව් කිහිපයක් නැරඹීමට ද එක් විය.

“වසත් සිරිය 2024” මියැසි ප්‍රසංගය රාත්‍රී 7.00 ට එම ස්ථානයේ දී ආරම්භ විය. සහන් රන්වල ප්‍රමුඛ රන්වල බලකාය විසින් ඉදිරිපත් කරනු ලැබු අවුරුදු ප්‍රාසාංගික අත්දැකීමක්ද එහිදී එළිදැක්වුණු අතර අනතුරුව දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන INFINITY සංගීත කණ්ඩායම ප්‍රසංගය ආරම්භ කරන ලදී.

ජනප්‍රිය ගායන ශිල්පීන් වන අමල් පෙරේරා, ශශිකා නිසංසලා, අශාන් ප්‍රනාන්දු, රුවන් හෙට්ටිආරච්චි, ආදිත්‍යා වැලිවත්ත යන ගායක ගායිකාවන්ගේ හඬින් “වසත් සිරිය 2024” මියැසි ප්‍රසංගය ගීතවත් වූ අතර එය නැරඹීමට ද ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.

PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News