ඉන්දියාවෙන් පිලිපීනයට බ්‍රාමොස් සුපර්සොනික් මිසයිල සැපැයීම දෙරට අතර ගිවිසුමෙහි කොටසක් ලෙස අඛණ්ඩව සිදුවනු ඇතැයි ඉන්දීය ආරක්ෂක බලධාරින් ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකානු ඩොලර් මිලියන 375ක ගනුදෙනුවක් යටතේ එම මිසයිල සැපයුම සිදු කරන බව ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එම මිසයිල පද්ධතිය පසුගියදා ඉන්දියාවේ සිට විශේෂිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් පිලිපීනයේ මැනිලා නුවරට රැගෙන ගිය බව ද වාර්තා වේ.
ඉන්දියාව සහ පිලිපීනය අතර මිසයිල ගනුදෙනුවේ පළමු පියවර ලෙස එය සිදු කර
ඇතැයි ද, ඒ සඳහා වන ගිවිසුම වසර 2022 දි අත්සන් තබා ඇතැයි ද ඉන්දීය
මාධ්‍ය සඳහන් කළේය. පිලිපීනය එම මිසයිල ආනයනය කර ඇත්තේ චීනය සමඟ දකුණු චීන මුහුදේ දේශපාලනික උණුසුම වර්ධනය වෙමින් පවතින කාලවකවානුවකදී බැවින් ඒ සඳහා ජාත්‍යන්තර අවධානය ද යොමු වී ඇත. එල්ල විය හැකි ඕනෑම තර්ජනයකට මුහුණදීම සඳහා එම මිසයිල පද්ධතිය පිලිපීනය විසින් ඔවුන්ගේ වෙරළබඩ ප්‍රදේශවල ස්ථානගත කරනු ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.