මාලදිවයිනේ ‘මෝල්ඩිවියන්ස්’ ගුවන් සේවය මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අතර ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් ප්‍රථම ගුවන් යානය (25) රාත්‍රි 9.55ට මෙරටට ළඟා විය.
කිව් 2-940 දරන මේ ගුවන් යානය කටුනායකට පැමිණි අවස්ථාවේ සාම්ප්‍රදායික ජල ආචාරය පවත්වමින් එය පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් විසින් පියවර ගෙන තිබිණි. මෙතැන් සිට මේ ගුවන් සේවයේ යානා සෑම සතියකම බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ගුවන් ගමන්වල නිරත වීමට නියමිතය.
අඩු වියදම් ගුවන් සේවයක් වන ‘මෝල්ඩිවියන්ස්’ ගුවන් සේවය තම මංගල ගුවන් ගමන සඳහා ඒ 320 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර, එම යානයෙන් මාලදිවයින් ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය කපිතාන් මොහොමඩ් අමීන්ද පැමිණ සිටියේය. එම අමාත්‍යවරයා ඇතුළු ගුවන් මගීන් පිළිගැනීමට වරාය, නාවික කටයුතු සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මාලදිවයින් ශ්‍රී ලංකා තානාපති රංග ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති ඇඩම් සාදික් , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තෝ විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.