හයවැනි ආසියානු කැරම් ශූරතාවලිය (27) මාලදිවයිනේ මාලේදී ආරම්භ වෙයි.
අද සිට මැයි මස 1 වැනිදා දක්වා පැවැත්වෙන මේ තරගාවලියට රටවල් 12ක් එක්වන අතර, ආසියානු කැරම් සම්මේලනයේ අනුමැතිය ඇතිව මාලදිවයින් කැරම් සංගමය තරගාවලිය සංවිධාන කරයි.
මේ සඳහා සත්කාරක මාලදිවයින සමඟින් ශ්රී ලංකාව, ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, පාකිස්තානය, කටාර්, එක්සත් අරාබි එමීර්, ජපානය, දකුණු කොරියාව, මැලේසියාව සහ සිංගප්පූරුව නියෝජනය කරමින් කණ්ඩායම් එක් වෙයි.
මේ ශූරතාවලිය වසර 10කට පසුව පැවැත්වීම විශේෂත්වයකි. අවසන් වරට 2013 වසරේ ඉන්දියාවේ කොල්කටාහිදී මේ තරගාවලිය පැවති අතර, එහිදී ශ්රී ලංකාවේ චමිල් කුරේ සහ නිශාන්ත ප්රනාන්දු එක්ව පිරිමි යුගල ශූරතාව දිනාගත් අතර, සෙසු ශූරතා සියල්ල ඉන්දියාවට හිමි විය. ඒ අනුව පිරිමි හා කාන්තා අනුශූරතා, කාන්තා යුගල අනුශූරතාව සහ මිශ්ර යුගල අනුශූරතාව ශ්රී ලංකාව සතු විය.
මෙවර තරගාවලියේදී ශ්රී ලංකා පිල ඉසව් 5කින් තරග බිමට පිවිසෙයි. ඒ කණ්ඩායම්, ඒකල, යුගල, මිශ්ර යුගල සහ ස්වීස් ඉසව්වලිනි.
හිටපු ලෝක ශූර නිශාන්ත ප්රනාන්දුගේ නායකත්වයෙන් තරගාවලියට එක් වන පිරිමි කණ්ඩායමට සහීඩ් හිල්මි, අනාස් අහමඩ් සහ හසිත අනුරුද්ධ ඇතුළත් වන අතර, ජෝශප් රොෂිටා නායකත්වය දෙන කාන්තා කණ්ඩායමට තරුෂි හිමහන්සිකා, ටශ්මිලා කාවින්දි සහ හිරුෂි මල්ෂානි ඇතුළත්ව සිටිති.