Omega Line ආයතනික පුරවැසි තිරසර සම්මාන උලෙළේදී ඇගැයෙයි

ඉතාලිය කේන්ද්‍ර කරගත් Calzedonia (Oniverse ලෙස ප්‍රකට) සමූහයට අයත් මෙරට ප්‍රමුඛතම ඇඟලුම් අපනයන සමාගමක් වන Omega Line ආයතනය, ලංකා වාණිජ මණ්ඩලය විසින් පසුගියදා සංවිධාන කරන ලද හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන උලෙළේදී ‘ආර්ථික දායකත්වය වෙනුවෙන් කාණ්ඩ ජයග්‍රාහකයෙකු ලෙස නම් කෙරුණි.

කාන්තා යට ඇඳුම් සහ පිහිනුම් ඇඟලුම් නිෂ්පාදනය වෙනුවෙන් විශේෂත්වයක් උසුලන Omega Line ආයතනය වාර්ෂිකව මිලියන 100කට වැඩි ඇඟලුම් ප්‍රමාණයක් අපනයනය කරයි. ඒ සඳහා 4,500කට වැඩි සේවක පිරිසක් දායක වන අතර ඉන් සියයට 90කටත් වැඩි පිරිස කාන්තාවන් වීම ද කැපීපෙනෙයි. දේශීය සැපයුම්කරුවන් සමඟ සහයෝගිතාවයෙන් තම දේශීය රෙදි නිෂ්පාදන ධාරිතාව ද නංවාගැනීමට Omega Line ආයතනය සමත්ව ඇති අතර ඒ හරහා වඩාත් ශක්තිමත් සහ විචලතාවන්ට ගැළපෙන සැපයුම් දාමයක් බිහිකර ගැනීමට අපේක්ෂිත ය.

මෙම ඇගැයුම හරහා අපගේ දක්ෂ කාර්යමණ්ඩලයේ නොපසුබට කැපවීම පිළිබිඹු වෙනවා. අපට ඉදිරියට යාමේදී ඔවුන්ගෙන් ලද දායකත්වය විශිෂ්ටයි. ඒ වගේම නවෝත්පාදනය සහ බලපෑම්සහගත නව විසඳුම් වෙනුවෙන් අපගේ කැපවීම හරහා දේශීය ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් සපයා තිබෙනවා, යනුවෙන් Omega Line සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සහ කළමනාකාර අධ්‍යක්ෂ ෆීලික්ස් ප්‍රනාන්දු පැවසුවේය.

Omega Line ආයතනය යනු 15,500කට අධික සේවක සංඛ්‍යාවකින් යුතු සහ, ඉකුත් වසරේදී ඇඟලුම් නිෂ්පාදන මිලියන 200කට ආසන්න ප්‍රමාණයක් අපනයනය කළ මෙරට අපනයන ඇඟලුම් ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන Omega සමූහයේ සාමාජිකයෙකි. වර්තමානයේදී රට මුහුණ දෙන ආර්ථික අභියෝග හමුවේ වුව ද ඉකුත් වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 600කට වැඩි පිරිවැටුමක් සහ ඩොලර් මිලියන 350ක ආයෝජන සිදු කිරීමට සමූහය සමත්විය. Omega Line සහ මවු සමාගම වන Calzedonia සිය 25 වැනි වසරට පා තබන මේ මොහොතේ ශ්‍රී ලංකාව තුළ ඉතාම සාර්ථක ලෙස ව්‍යාපාර කටයුතුවල නිරතව සිටියි. 1999 වසරේදී සමාගම් සමූහය සතු සමස්ත අලෙවිසල් ප්‍රමාණය 300කටත් අඩු වූ අතර මේ වන විට රටවල් 55ක් පුරා අලෙවිසල් 5,500කට වැඩි ප්‍රමාණයක් සමූහය සතු ය. මෙම සුවිශේෂී වර්ධනයත් සමඟ ගෝලීය වශයෙන් Omega Line ලැබෙන පිළිගැනීම ද ඉහළ ගිය අතර ඒ සමඟ කාන්තා යටඇඳුම් වෙළෙඳපොළ තුළ ද විශේෂ වර්ධනයක් දක්නට ලැබුණි. මේ අතර, ආයතනික සමාජ වගකීම් වෙනුවෙන් Omega Line සතු කැපවීම ද ශ්‍රී ලංකාව තුළ ආයතනික පුරවැසිභාවය පිළිබඳ කදිම නිදසුන් සපයයි. විවිධ වැඩසටහන් හරහා දේශීය ව්‍යවසායකයින්ට සහාය වීම, යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම ඉගෙනුම් සහ සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් ආයෝජනය කිරීම ආදිය සමාගම නිරන්තරයෙන් සිදු කරයි.

තව ද සේවක සංවර්ධනය වෙනුවෙන් ඔවුන්ට වෘත්තීය නිපුණතාවන්ට අමතරව, මූල්‍ය කළමනාකරණය, සන්නිවේදනය සහ පුද්ගල වර්ධනය වෙනුවෙන් ද සමාගම මඟපෙන්වයි. තව ද, ඵලදායී සන්නිවේදන ක්‍රමවේද, විධිමත් ප්‍රතිපත්ති ආදිය මඟින් සේවකයින්ගේ සක්‍රිය දායකත්වය වර්ධනය කරමින් නවෝත්පාදනය සහිත ධනාත්මක ආයතනික පරිසරයක් නිර්මාණය කිරීමට ද සමාගමට හැකිවී තිබේ. ඊට අමතරව සේවක සුබසාධනය වෙනුවෙන් ද නිවාස ණය, වෛද්‍ය පහසුකම් ආදී විවිධ සහන රැසක් සමාගම ක්‍රියාත්මක කරයි.