ඇමෙරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම උප ලේකම්වරිය ජනපති හමු වෙයි

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය ඇතිව මෙරට කිරි නිෂ්පාදනය නවීකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එම වැඩසටහන මඟින් දිවයින පුරා දැනට ක්‍රියාත්මක කිරි නිෂ්පාදනය ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘති තවදුරටත් දිරිමත් කරනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

රජයේ කෘෂි නවීකරණ වැඩසටහන පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී ඇලෙක්සිස් ටේලර් දැනුවත් කළ අතර මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රය සඳහා තරුණ පුරපුර ආකර්ශණය කර ගැනීම එහි ප්‍රමුඛ අරමුණක් බවද පැවසීය.

ශ්‍රී ලංකාවේ කෘෂි නවීකරණ වැඩසටහන වෙනුවෙන් සිය පූර්ණ සහාය ලබා දෙන බවට උප ලේකම්වරිය ඇතුළු එක්සත් ජනපද නියෝජිත පිරිස මෙහිදී ජනාධිපතිවරයා වෙත සහතික වූහ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

PMD News
PMD News
PMD News