ශ්‍රී ලංකා පිලේ දෙවැනි තරගය අද
විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගී වන දෙවැනි තරගය (27) අබුඩාබියේ සෙයිඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ස්කොට්ලන්තයට එරෙහිව පැවැත්වේ. මේ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 9.00ට ආරම්භ වීමට නියමිතය.
‘ඒ’ කාණ්ඩයෙන් තෙවැනි තරගය මෙය අතර, මේ කණ්ඩායම් දෙක පෙරේදා පැවති තරගවලින් පහසු ජයග්‍රහණ අත්කර ගත්තේය.
ශ්‍රී ලංකා පිල තායිලන්තය ලකුණු 67කින් පරාජය කරමින් ප්‍රසාද ලකුණු 2ක් සමඟ 3.350ක දළ ලකුණු වේගයක් හිමි කර ගත් අතර, එම තරගයේදී ශ්‍රී ලංකා පිතිකාරිනියන්ට වඩා පන්දු යවන්නියන්ගේ දස්කම් කැපී පෙනුණි. එහිදී ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු 3ක් සහ උදේශිකා ප්‍රබෝධනි කඩුලු 2ක් දවා ගත්හ.
එදින උගන්ඩාවට එරෙහිව ලකුණු 109ක දැවැන්ත ජයක් හිමි කර ගත් ස්කොට්ලන්තය 5.450ක දළ ලකුණු වේගයකට හිමිකම් කියමින් ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගත්තේය.
ඒ අනුව අද තරගය ‘ඒ’ කාණ්ඩයේ අපරාජිතයන්ගේ සටනක් බවට පත්ව තිබේ.
මේ දෙපිල මින් පෙර විස්සයි20 තරග බිමේදී හමුව ඇත්තේ එක් වරක් පමණි. එම තරගයෙන් ලකුණු 109ක දැවැන්ත ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, එය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු අනුව විස්සයි20 තරගයකදී වාර්තා කළ ඉහළම ජයග්‍රහණය විය.
එම තරගයේදී කණ්ඩායම් මෙහෙයවූ චමරි අතපත්තු සහ කැත්රින් බ්‍රයිස් මේ තරගයේදීත් දෙපිලේ නායකයන් ලෙස කටයුතු කරති.
මේ අතර පෙරේදා පළමු දිනයේ ‘බී’ කාණ්ඩය යටතේ පැවති තරගවලින් කැපී පෙනෙන ජයග්‍රහණක් වාර්ත කිරීමට වනුවාටු කණ්ඩායම සමත් වූයේ සිම්බාබ්වේ පිල කඩුලු 6කින් පරාජය කරමිනි. අයර්ලන්තය කඩුලු 6කින් එමීර් පිල පරාජය කළේය.
අද නෙදර්ලන්තය – වනුවාටු, උගන්ඩාව – අමෙරිකාව තරග 4.30ට ආරම්භ වන අතර, එමීර් – සිම්බාබ්වේ තරගය රාත්‍රි 9.00ට ආරම්භ වෙයි.