වාර්ෂික ආර්ථික විවරණය එළිදක්වමින් මහ බැංකුව කියයි
නිදහසින් පසු ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම ආර්ථික පසුබෑමෙන් අනතුරුව 2023 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය පළමු ‘වාර්ෂික ආර්ථික විවරණය 2023’ සහ ‘මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් 2023’ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගන්වමින් ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වයට සහ එය පාර්ලිමේන්තුවට සහ මහජනතාවට වඩාත් වගවීම වැඩි දියුණු කිරීම සඳහා හඳුන්වා දුන් 2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහ බැංකුව නව පනතට අනුව ඉදිරිපත් කළ පළමු වාර්තාව මෙයයි. එම වාර්තාවට අනුව වාර්ෂික ආර්ථික විවරණය පරිච්ඡේද තුනකින්ද, මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් ප්රකාශනය කොටස් පහකින්ද යුක්ත වේ.
වාර්ෂික ආර්ථික විවරණයෙන් පිළිබිඹු වන්නේ 2023 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වන බවයැයි මහ බැංකුව කියයි. වසර 2022දී 69.8%ක් ලෙස වාර්තා වූ ඉහළම උද්ධමන මට්ටම් පහළ යෑමක් වාර්තා කරමින් 2023 වසරේ අවසානය වන විට උද්ධමනය 6.3% දක්වා තනි ඉලක්කමක් බවට පත් වී ඇත. කාර්තු හයක් මුළුල්ලේ අඛණ්ඩව පැවැති දීර්ඝතම ආර්ථික සංකෝචනයෙන් මිදී 2023 වසරේ දෙවැනි භාගය තුළදී ආර්ථිකයේ ප්රසාරණයක් වාර්තා කොට ඇත.
වසර 2022දී මෙරට ආර්ථිකය ඍණ 7.3%කින් සංකෝචනය විය. එය වසර 2023දී ඍණ 2.3%ක් දක්වා යහපත් තත්ත්වයකට ළඟා වී තිබේ. වෙළෙඳපොළ පොලී අනුපාතික සැලකිය යුතු ලෙස 2023 වසරේදී අඩු වී ඇත. වසර 2022 අවසානය වන විට 32.6% මට්ටමක පැවති භාණ්ඩාගාර බිල්පත් ඵලදායිතා අනුපාතිකය 2023 අවසානය වන විට 14.5% දක්වාද මේ වසරේ මාර්තු, පෙබරවාරි මාසවලදී 10.1% දක්වා අඩු වී ඇත.
දළ නිල සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන 4.4 දක්වා වැඩි වී ඇත. එය වසර 2022දී පැවැතියේ ඩොලර් බිලියන 1.9ක් ලෙසිනි. මේ ආකාරයට නිල සංචිතය වැඩිවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව යන බහුපාර්ශ්වීය ආයතනවලින් මෙරටට හිමි වූ විදේශ විනිමය ලැබීම් හේතු විය. ශ්‍රී ලංකා මහ බැංකුව ද විදේශීය විනිමය වෙළෙඳපොළෙන් විදේශ විනිමය මිල දී ගෙන තිබේ.
වසර 2022දී මෙරට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 8.4%ක් විය. එය වසර 2023 අවසන් වනවිට 11.1% දක්වා වැඩි වී ඇත. වසර 2022 දී රජයේ වියදම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 18.6%ක් විය. එය 2023දී 19.4% දක්වා වැඩි වී ඇත. වසර 2022දී එක්සත් ජනපද ඩොලර් බිලියන 1.1ක් වූ සංචාරක ඉපයීම් 2023දී ඩොලර් බිලියන 2.1 දක්වා වැඩි වී ඇත. විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලෙස 2022දී මෙරටට ලැබුණේ ඩොලර් බිලියන 3.8කි. එය 2023 අවසන් වනවිට ඩොලර් බිලියන 6 දක්වා වැඩි වී ඇත. වසර 2023දී කෘෂිකර්මය (2.6%) කර්මාන්ත (ඍණ 9.2%) සේවා (ඍණ 0.2%) ලෙස ආර්ථික වර්ධනයට දායකත්වය දක්වා ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ විසින් වාර්ෂික ආර්ථික විවරණය 2023 සහ මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් 2023 යන ප්‍රකාශන ජනාධිපති හා මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත පිළිගන්වන ලදි. මහාභාණ්ඩාගාරයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිනි ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු, නියෝජ්‍ය අධිපතිනි කේ.එම්.ඒ.එන්. දවුලගල, සහකාර අධිපති ආචාර්ය සී. අමරසේකර, ආර්ථික පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂිකා ආචාර්ය කේ. ජෙගජීවන්, ප්‍රතිපත්ති සමාලෝචන හා නිරීක්ෂණ අධ්‍යක්ෂිකා ඩබ්.එල්.එස්.ඩබ්. ජයසුන්දර සහ ආර්ථික පර්යේෂණ අතිරේක අධ්යක්ෂ ආචාර්ය එල්.ආර්.සී. පත්බේරිය මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.