බෝර 12 ගිනි අවියක් රැගෙන ත්‍රිරෝද රථයකින් යමින් සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සන්තකයේ තබා ගනිමින් කිසියම් අපරාධයකට සැරසී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි දෙදෙනකු පොලිස් වි‍ශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් (23) ගලහ පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත ගලහ පොලිස් වසමේ නිල්ලඹ වේල්ල අසල මාර්ගයේදී මෙම වැටලීම සිදු කර ඇත.

එහිදී කිසියම් අපරාධයක් කිරීමට විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සත්තකයේ තබාගෙන ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි කොළබිස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 51ක පුද්ගලයකු හා දෙල්තොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගලහ පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සංකල්පයකට අනුව දීප ව්‍යාප්තව සිදු කරන යුක්තිය මෙහෙයුමට අදාළව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ නියෝග හා උපදෙස් පරිදි මහනුවර කලාපය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දුගේ මෙහෙයවීම මත සහකාර පොලිස් අධිකාරී අබේරත්තගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බළකාය ගම්පොළ කඳවුරේ පොලිස් පරීක්ෂක කේ.ඩී.ජී.පී. වික්‍රමරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ වැටලීම සිදු කර තිබේ.