බුලත්සිංහල චීවරධාරියකුට ගුටි පූජාවක්

ගහපු පිරිස හා ගුටිකෑ චීවරධාරියා අත්අඩංගුවට

මෝල්කාව ගලහිටිය මහමෙව්නා විහාරස්ථානයේ වැඩ වාසය කළ හිමිනමකට ඉකුත් 24 දින උදෑසන මහ මඟදී පහරදීමක් සම්බන්ධව සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බව බදුරලිය පොලිසිය පවසයි.

මෙම හිමිනම අනාචාරයේ හැසිරෙනවා යැයි උරණ වූ ගම්වාසීන් පිරිසක් මෙම පහරදීම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවද, ප්‍රදේශයේ අනියම් සබඳතාවයක් පවත්වාගෙන යන නිවසකට ගොස් අලුයම් කාලයේදී කොට කලසමකින් හා “ටීෂර්ටය” කින් සැරසී හිස්වැසුමක්ද පැලඳ ආපසු පැමිණෙමින් සිටියදී මෙම පහරදීම සිදුව ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී කරුණු අනාවරණය වී ඇතැයි බදුරලිය පොලිසිය සඳහන් කරයි.

පහරකෑමට ලක් වූ හිමියන්, ජංගම පොලිස් රාජකාරි නියුතු නිලධාරීන් විසින් බදුරලිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ මහ රෝහල වෙත යොමු කර ඇත.

පහරකෑමට ලක්වූ හිමියන්ගේ නොමනා හැසිරීම් පිළිබඳ ගම්වාසීන් චෝදනා කරන අතර, ඒ පිළිබඳ සත්‍ය අසත්‍යතාවය මෙතෙක් තහවුරු වී නැති බවද, ඒ සඳහා වැඩිදුර පොලිස් විමර්ශන දියත් කර ඇති බවද බදුරලිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිල්රුක් කොළඹගේ පැවසීය.

කෙසේ වුවද නීතිය අතට ගෙන මෙවැනි පහරදීම් සිදුකිරීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති නිසා ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සිදුවන බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු අතර කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකරගේ උපදෙස් මත මෝල්කාව බදුරලිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිල්රුක් කොළඹගේ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.