ගාසා තීරයේ සමූහ මිනී වළක් සොයාගනී

ගාසා තීරයේ ඛාන් යූනිස් නුවර රෝහල් පරිශ්‍රයකින් සමූහ මිනී වළක් සොයා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඛාන් යූනිස් නුවර අල් ෂිෆා සහ නසාර් රෝහල් භූමිවල පිහිටා තිබූ එම සමූහ මිනී වළේ අත් පා ගැට ගැසූ මළ සිරුරු 283ක් තිබු බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එම මළ සිරුරු සොයා ගෙන ඇත්තේ එහි වැටලීමකට සහභාගි වූ ඊශ්‍රායල හමුදාව ඉන් පිටව යෑමෙන් පසුවය. එම මළ සිරුරු වළ දැමූ නිශ්චිත දිනය හෝ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවත් වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් ප්‍රධානි වෝකර් ටර්ක් ප්‍රකාශ කර ඇත්තේ එය දැඩි තැතිගැන්මට ලක් වූ සිදුවීමක් බවය. ඔහු එම මළ සිරුරු සම්බන්ධව ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

මේ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කර ඇති ඊශ්‍රායල හමුදාව සඳහන් කර ඇත්තේ ඛාන් යූනිස් නුවර සති දෙකක කාලයක් පුරා සිදු කළ වැටලීමකදී ඊශ්‍රායලයෙන් පැහැරගත් පුද්ගලයන් සිටින්නේදැයි සොයා බැලීමට පලස්තීනුවන් විසින් වළ දැමු මළ සිරුර රැසක් පරීක්ෂාවට ලක් කළ බවය.