ඉරාන ජනපතිට පාකිස්තානයේදී ඉහළින් හරසර

-දෙරට අතර වෙළෙඳාම ඩොලර් බිලියන 10කින් ඉහළට

ඉරානය සහ පාකිස්තානය අතර වෙළෙඳ ගනුදෙනුව අමෙරිකානු ඩොලර් බිලියන 10කින් ඉහළ නැංවීමට දෙරටේ රාජ්‍ය නායකයන් තීරණය කළ බව පාකිස්තානයේ ඩෝන් පුවත් සේවය වාර්තා කළේය. ඉහළ හරසර මැදින් පෙරේදා පාකිස්තානයට පැමිණි ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි සහ පාකිස්තාන අගමැති ශෙබාස් ෂරිෆ් අතර සාකච්ඡා ඉස්ලාමාබාද් නුවරදී පෙරේදා පස්වරුවේ පැවැති බවත්, ඊළඟ වසර 5දී පාකිස්තානය සහ ඉරානය අතර වෙළෙඳාම ඩොලර් බිලියන 10කින් ඉහළ නැංවීමට දෙදෙනාම එකඟතාව පළ කළ බවත් ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

පසුගිය පෙබරවාරියේ පාකිස්තානයේ පැවැති මහමැතිවරණයෙන් පසු එරට සංචාරය කළ පළමු රාජ්‍ය නායකයා වන ඉබ්‍රාහිම් රයිසි ප්‍රකාශ කර ඇත්තේ ආර්ථික වශයෙන් පමණක් නොව දේශපාලන හා සංස්කෘතික වශයෙන් ද දෙරට අතර සම්බන්ධතා ඉහළ නැංවිය යුතු බවය.

ඊශ්‍රායල ප්‍රහාරවලට ලක් වූ ගාසා තීරයේ ජනතාව වෙනුවෙන් සහාය පළ කරමින් ඉරානය දැඩි ස්ථාවරයක සිටීම ගැන පාකිස්තාන අගමැතිවරයා ඉරාන ජනාධිපතිවරයා පැසසුමට ලක් කර ඇතැයි ද වාර්තා වේ.