අපරාධකරුවන් ක්ෂණිකව හඹාගොස් අල්ලන්න කණ්ඩායමක්

යුක්තිය මෙහෙයුමට සමගාමීව පාතාල අපරාධ මැඩපැවැත්වීමට විශේෂ කාර්‍ය බලකා පුහුණුව ලත් පොලිස් නිළධාරීන් 100 සමන්විත යතුරු පැදි කණ්ඩායම් 50 ක් බස්නාහිර සහ දකුණ පළාත්වලට යොමු කෙරේ.

ඒ අනුව බස්නාහිර සහ දකුණ පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුවන පාතාල අපරාධ මැඩපැවැත්වීමේ අරමුණින් විශේෂ කාර්ය බලකා යතුරු පැදි කණ්ඩායම් වලට සමගාමීව ක්‍රියාත්මක වීම සදහා විශේෂ කාර්ය බලකා විශේෂ පුහුණුව ලත් පොලිස් නිලධාරීන් 100 ක ගෙන් සමන්විත යතුරු පැදි කණ්ඩායම් 50 ක් මේ වෙනුවෙන් යොදවනු ලැබේ.

එම පිරිස කටුකුරුන්ද විශේෂ බලකා පුහුණු කදවුරේ සති 02 ක පුහුණුව සාර්ථකව අවසන් කර විසිරයැමේ උත්සවය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන්(25) පැවැත්වුණි.

මෙම විශේෂ පුහුණුව ලත් යතුරු පැදි කණ්ඩායම් අද සිට බස්නාහිර සහ දකුණ පළාතේ විශේෂයෙන් හදුනාගත් පොලිස් වසම් ආවරණය වන පරිදි සංචාරය කිරීමට නියමිත අතර, අපරාධකරුවන් වෙත ක්ෂණිකව හඹාගොස් අත්අඩංගුවට ගැනීම සදහා ක්‍රියාත්මක වනු ඇත.

එහි දී අමාත්‍ය ටිරාන් අලස් මෙසේ කියා සිටියේය,

“ මං අද මේ මෝටර් සයිකල් කණ්ඩායමේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකරලා බය නැතුව අපිට යා යුතු ඉලක්කයට යන්න. ඕනම හදිස්සි වෙලාවක තමන් අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න වෙනවනම් හරි දේට පාවිච්චි කරන්න. අපි ඔබලා වෙනුවෙන් හරි දේට පෙනී සිටිනවා. ඒ වගේම වැරදි දේවල් කරන අයට විරුද්ධව තදින් ක්‍රියාත්මක වෙනව.

මේ කණ්ඩායම මදි වුනොත් අපි තවත් මෝටර් සයිකල් කණ්ඩායමක් පිහිටවනවා. අපි සියලු දෙනා එකතු වෙලා මේ රටේ මහජනතාව බේරගන්න ක්‍රියාදාමයකට යන්නෙ. දෙපාරක් හිතන්න ඕනේ නෑ මේ රටට කුඩු ගේන, කුඩු විකුණන, පාතාල ක්‍රියාකාරකම් කරන පුද්ගලයන් මේ රටෙන් තුරන් කිරීම පවක් නෙමෙයි.“