වහලය ගලවා කඹයකින් බැස 

අනුරපුර බැංකුවක් කොල්ලකන්න යද්දී නළා හඬට හොරු දුවලා

අනුරාධපුර නගරයේ ඇති වාණිජ බැංකුවක සේප්පු කපා දමා එහි මුදල් කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවකු හෝ පිරිසක් එම බැංකුවේ නළා සංඥා පද්ධතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් කොල්ලකෑම අත්හැර දමා පලා ගොස් ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

(24) අලුයම අනුරාධපුර පොදු වෙ‍ෙළඳ සංකීර්ණය ආසන්නයේ පිහිටා ඇති එම වාණිජ බැංකුවේ වහලයේ කොටසක් ගලවා බැංකු පරිශ්‍රය තුළට ඇතුළු වී ඇති කොල්ලකරුවකු හෝ පිරිස එහි සේප්පුව බිඳ මුදල් සොරකම් කිරීමට දැරූ උත්සාහය මෙලෙස අසාර්ථක වී තිබූ බව පොලිසිය කියයි.

එක් පුද්ගලයකු හෝ කිහිපදෙනකු බැංකු ගොඩනැඟිල්ලේ වහලය මතින් කඹයක් ආධාරයෙන් බිමට බැස, ග්‍රයින්ඩරයක් හා මිටියක් ආධාරයෙන් එහි එක් සේප්පුවක් බිඳ දැමූ අවස්ථාවේදී එම බැංකුවේ සංඥා පද්ධතිය එක්වරම ක්‍රියාත්මක වී තිබූ බව පොලිසිය සඳහන් කළේය.

මෙම කොල්ලකරුවන් විසින් අගුලු කපා තිබූ එම සේප්පුව තුළ මුදල් තැන්පත් කර නොතිබූ බව ද අනාවරණය වූ බව පොලිසිය කියයි.

(24) අලුයම් කාලයේදී බැංකුවේ නළා සංඥා පද්ධතිය එක දිගට නාද වීම හේතුවෙන් ඇහැරී බලන විට බැංකුව පිටුපසින් බෑගයක් පිට එල්ලා ගත් මිනිසකු දිව යන ආකාරය තමන් දුටු බව බැංකුව පිටුපස පදිංචි කාන්තාවක සිදු කළ ප්‍රකාශයක සටහන්ව ඇති බව පොලිසිය මෙහිදී සඳහන් කළේය.

මෙම වාණිජ බැංකුව මෑත කාලය තුළ සොරුන් විසින් කිහිපවතාවක්ම බිඳ දැමූ බව ද මෙහිදී පොලිස් නිලධාරියෙක් පැවැසීය.

බැංකුව බිඳ මුදල් කොල්ලකෑමට පැමිණි පුද්ගලයකු හෝ පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් කිහිපයක් වැඩිදුර විමර්ශන සිදු කරති.