ගෝලීය දකුණේ රටවල් ස්වකීය ශක්තිය මත ගොඩනැඟිය යුතුයි.
- උමාඔය ව්‍යාපෘතිය බලශක්ති, වාරිමාර්ග සහ ජල කළමනාකරණ යන ක්ෂේත්රයන්හි ඉරාන – ශ්‍රී ලංකා සහයෝගීතාවයේ සංකේතයක්- ශ්‍රී ලංකා ජනපති.
- ශ්‍රී ලංකාව සහ ඉරානය අතර දේශපාලන, ආර්ථික, වෙළෙඳ සහ සංස්කෘතික සබඳතා පුළුල් කර ගැනීමේ දී සීමාවක් හෝ බාධාවක් නැහැ – ඉරාන ජනපති.
ගෝලීය දකුණේ රටවල් ස්වකීය ශක්තිය මත ගොඩනැඟිය යුතු බවත්, දේශගුණික විපර්යාස, ආහාර සුරක්ෂිතතාව, ණය ආපසු ගෙවීම, ඩිජිටල්කරණ සහ නවීන තාක්ෂණය මෙන්ම තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වැනි වර්තමාන ගෝලීය අභියෝගයන්ට මුහුණ දීමේදී සිය හඬට ඇහුම්කන් දෙන බව සහතික කිරීම සඳහා සාමුහිකව කටයුතු කළයුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි සමඟ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති නිල සාකච්ඡාවලින් අනතුරුව දෙරටේ ජනාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුව අමතමිනි.
රාජ්‍යතාන්ත්‍රිකභාවය සහ සාකච්ඡාව තුළින් කලාපයට පමණක් නොව ලොව පුරා සාමය, ආරක්ෂාව සහ සෞභාග්‍යය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉරානය එක්ව සිටීම පිළිබඳ මෙහිදී සිය සතුට පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉරාන ජනාධිපති රයිසිගේ ශ්‍රී ලංකා සංචාරය රටවල් දෙකටම ප්රතිලාභ සලසමින් සහයෝගීතාවය සඳහා නව අවස්ථා විවෘත කරනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.
පලස්තීන ගැටලුව පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ පලස්තීන ජනතාවට රාජ්‍යයක් ගොඩනැඟීම සඳහා පවතින නීත්‍යානුකූල සහ අහිමි කළ නොහැකි අයිතිය ශ්‍රී ලංකාව සහ ඉරානය පිළිගන්නා බවයි. 1967 වසර වන විට පැවති දේශසීමා මත පදනම්ව එකිනෙකට යාබදව පිහිටි රාජ්‍යයන් දෙකක් ලෙස පිහිටුවීමට අදාළව එක්සත් ජාතීන් විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලට අනුකූලව පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බවද ජනාධිපතිවරයා පැවසීය.
එමෙන්ම අප්‍රේල් 24 වනදා විවෘත කෙරුණු උමා ඔය ව්‍යාපෘතිය බලශක්ති උත්පාදනය, වාරිමාර්ග සහ ජල කළමනාකරණය යන ක්ෂේත්රයන්හි ඉරානය සහ ශ්‍රී ලංකාව අතර පවතින සහයෝගීතාවයේ සංකේතයක් බවද පැවසූ ජනාධිපතිවරයා එම ව්‍යාපෘතිය ගෝලීය දකුණේ රටවල් අතර මෙම ක්ෂේත්රයන්හි පවතින සහයෝගීතාව සඳහා උදාහරණයක් බවට පත්වීම පිළිබඳ සතුටු වන බවද කියා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ ඉරානය අතර දේශපාලන, ආර්ථික, වෙළෙඳ සහ සංස්කෘතික සබඳතා පුළුල් කර ගැනීමේ දී සීමාවක් හෝ බාධාවක් නොමැති බවයි.
දෙරට අතර අන්‍යෝන්‍ය ප්රතිලාභ දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කර ගැනීම තුළ පවතින බව පෙන්වා දුන් ඉරාන ජනාධිපතිවරයා ඉරානය සහ ශ්‍රී ලංකාව යන රටවල් දෙක තුළම ඉතා ඉහළ විභවයන් සහ හැකියාවන් පවතින බවත්, මෙම අවස්ථාවන් දෙරට අතර හුවමාරු කර ගැනීම රටවල් දෙකට මෙන්ම කලාප දෙකටද ප්‍රයෝජනවත් වනු ඇති බවත් පැවසීය.
ඒකාබද්ධ මාධ්‍ය හමුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය,
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙසත්, උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වන ලෙසත් මා කළ ආරාධනය පිළිගෙන මෙහි පැමිණි ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසිට මාගේ හෘදයාංගම ස්තූතිය පළ කරනවා.
ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120 ක විදුලිය උත්පාදනය කර එක් කිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ ගිනිකොන දිග ප්‍රදේශයේ ජල හිඟයට පිළියම් යෙදීම වෙනුවෙන් සැලසුම් කර ඇති උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අප එක්ව විවෘත කළා. මෙම ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ නැංවෙන අතර ආහාර නිෂ්පාදනය, ස්ථාවර විදුලි සැපයුමක් ලබාදීම මෙන්ම ප්‍රදේශයේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ඇති කිරිම සඳහා එය දායක වෙනවා.
උමා ඔය ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ආධාර ලබා දීම පිළිබඳව පමණක් නොව ඉංජිනේරු සහ තාක්ෂණික ක්ෂේත්රවල දැනුම බෙදාහදා ගැනීම සම්බන්ධයෙන් ඉරාන ඉස්ලාමීය ජනරජයට ස්තූති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.
මෙම ව්‍යාපෘතියෙන් හිමිවන ප්රතිලාභ අප ප්‍රදේශයේ ජනතාවට ලබාදී තිබෙනවා. පර්සියාවේ සහ ශ්‍රී ලංකාවේ අනුරාධපුර යුගයේ ඉපැරණි වාරි සම්ප්‍රදායන් දෙකෙහි නූතන යුගයේ එකතුවක් ලෙස මම මෙම ව්‍යාපෘතිය හඳුන්වාදීමට කැමතියි.
නවීන ලෝකයේ අවශ්‍යතාවයන් වන විද්‍යාව හා තාක්ෂණය, කෘෂිකර්මාන්තය සහ බලශක්ති උත්පාදනය වැනි ක්ෂේත්රයන්හි විශිෂ්ට ජයග්‍රහණ අත්කරගෙන ඇති ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනතාවට මම සුබ පතනවා.
අද දින විවෘත කරන ලද උමා ඔය ව්‍යාපෘතිය බලශක්ති උත්පාදනය, වාරිමාර්ග සහ ජල කළමනාකරණය යන ක්ෂේත්රයන්හි දෙරට අතර පවතින සහයෝගීතාවයේ සංකේතයක් බවට පත්වෙමින් ගෝලීය දකුණේ රටවල් අතර මෙම ක්ෂේත්රයන්හී පවතින සහයෝගීතාව සඳහා උදාහරණයක් බවට පත්වීම පිළිබඳ මම සතුටට පත්වෙනවා.
පසුගිය කාලසීමාව තුළ මුහුණදුන් ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් ලබා දුන් සහයෝගය පිළිබඳව අපගේ සාකච්ඡා අතරතුර මම මගේ කෘතඥතාව පළ කළා.
ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික ස්ථාවරත්වය සහ ප්‍රකෘතිය පිළිබඳව ද මම ජනාධිපති රයිසි දැනුවත් කළ අතර ශ්‍රී ලංකාවේ අනාගත ප්‍රගතිය සහ සෞභාග්‍යය පිළිබඳව ජනාධිපති රයිසි සිය විශ්වාසය පළ කළා.
එමෙන්ම අපගේ සාකච්ඡා අතරතුර දෙරට අතර වෙළෙඳ සහ ආර්ථික කටයුතු පුළුල් කර ගැනිම, දේශපාලන සහ සංස්කෘතික සහයෝගීතාවය වර්ධනය කර ගැනීම ආදිය ඇතුළත් අන්‍යෝන්‍ය වශයෙන් දෙරටේ උනන්දුවක් පවතින ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව අප අවධානය යොමු කළා.
අපගේ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා රජය සහ ඉරාන රජය අතර සංස්කෘතික, අධ්‍යාපන, තරුණ කටයුතු, මාධ්‍ය, සංචාරක හා චිත්‍රපට කර්මාන්තය යන ක්ෂේත්රවල අවබෝධතා ගිවිසුම් 5කට අත්සන් තැබුවා.
මෙම ක්ෂේත්රයන්හි ද්විපාර්ශ්වික සහයෝගිතාව මෙන්ම දෙරටේ ජනතාව අතර ද සම්බන්ධතා වැඩිදියුණු කිරීම සඳහා විශාල හැකියාවක් පවතින බව අප දකිනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය, නොබැඳි ජාතීන්ගේ සංවිධානය (NAM), G-77 සංවිධානය මෙන්ම ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමය (IORA) වැනි අනෙකුත් කණ්ඩායම් ද ඇතුළුව බහුපාර්ශ්වික සහ කලාපීය සංසදවලදී රටවල් දෙක සමීපව කටයුතු කිරීම පිළිබඳව ද අප ඉතා සතුටු වෙනවා. බහුපාර්ශ්වික සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කරමින් වත්මන් ගෝලීය අභියෝග පිළිබඳව විවෘත හා ප්‍රයෝජනවත් සංවාදයක අපි නිරත වී සිටිනවා.
දේශගුණික විපර්යාස, ආහාර සුරක්ෂිතතාව, ණය ආපසු ගෙවීම, ඩිජිටල් සහ තාක්ෂණික බෙදීම් මෙන්ම තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වැනි වර්තමාන ගෝලීය අභියෝගයන්ට මුහුණ දීමේදී සිය හඬට ඇහුම්කන් දෙන බව සහතික කිරීම සඳහා ගෝලීය දකුණේ රටවල් සාමූහිකව කටයුතු කළ යුතු බවට අප එකඟ වුණා. ගෝලීය දකුණේ රටවල් ස්වකීය ශක්තිය මත ගොඩනැඟිය යුතුයි.
රාජ්‍යතාන්ත්‍රිකභාවය සහ සාකච්ඡාව තුළින් කලාපයට පමණක් නොව ලොව පුරා සාමය, ආරක්ෂාව සහ සෞභාග්‍යය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉරානය එක්ව සිටීම පිළිබඳ මම සතුටු වෙනවා.
පලස්තීනයේ පවතින බරපතල තත්ත්වය සහ පලස්තීනයේ ජනතාවට අත්විඳීමට සිදු වී ඇති අතිමහත් වූ දුක් වේදනා පිළිබඳ අපගේ දැඩි කනස්සල්ල පළ කරනවා.ශ්‍රී ලංකාව සහ ඉරානය පලස්තීන ජනතාවට රාජ්‍යයක් ගොඩනැඟීම සඳහා පවතින නීත්‍යානුකූල සහ අහිමි කළ නොහැකි අයිතිය පිළිගනු ලබනවා.
1967 වසර වන විට පැවති දේශසීමා මත පදනම්ව එකිනෙකට යාබදව පිහිටි රාජ්‍යයන් දෙකක් ලෙස පිහිටුවීමට අදාළව එක්සත් ජාතීන් විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලට අනුකූලව පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටිනවා.
එවැනි ඕනෑම විසඳුමක් සඳහා පළමුව ගාසා තීරයේ සිදුවන මනුෂ්‍ය ඝාතන නතර කළ යුතුයි. දෙවනුව වසර පහක් ඇතුළත පලස්තීන රාජ්‍යය පිහිටුවිය යුතුයි. තුන්වනුව, ස්වෛරී රාජ්‍යයන්ට ගරු කළ යුතුයි සහ සිව්වනුව සියලුම රාජ්‍යයන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි. මේ කරුණු පිළිබඳ අවධානය යොමු කර වහාම ගාසා තීරයේ මනුෂ්‍ය ඝාතන නතර නොකළහොත් එම විසඳුම සොයා ගැනීම දුෂ්කර වනු ඇත.
එක්සත් ජාතීන්ගේ පද්ධතිය ක්‍රියා විරහිත කිරීමෙන් සිදුවන්නේ ජාතීන්ගේ සංගමයට සිදු වූ ආකාරයටම එම පද්ධතිය කෙරෙහි ඇති විශ්වාසය නැතිවීම පමණි. අප ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවකට පැමිණි තිබෙනවා.
ශ්‍රී ලංකා රජය “ගාසා හි ළමා අරමුදල” පිහිටුවා ගාසා තීරයේ විපතට පත් දරුවන්ට උපකාර කිරීම සඳහා 2024 අප්‍රේල් 1 වන දින පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සැලසීමේ සහ ක්‍රියාත්මකවීමේ නියෝජිතායතනය (UNRWA) වෙත ඇමරිකානු ඩොලර් මිලියනයක් පරිත්‍යාග කළා.
ඉරාන ජනාධිපතිතුමාගේ මෙම සංචාරය අපගේ රටවල් දෙකටම ප්රතිලාභ සලසමින් සහයෝගීතාවය සඳහා නව අවස්ථා විවෘත කරනු ඇතැයි මම විශ්වාස කරනවා.
ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය රයිසිගේ යහපත් සෞඛ්‍යය සහ යහපැවැත්ම මෙන්ම ඉරාන ජනතාවගේ අඛණ්ඩ ප්‍රගතිය සහ සමෘද්ධිය වෙනුවෙන් මගේ සුබ පැතුම් එක් කිරීමට ද මම මෙය අවස්ථාවක් කර ගන්නවා.
ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි,
ශ්‍රී ලංකාව වැනි රටක මගේ කණ්ඩායම සමඟ සංචාරය කිරීමට හැකිවීම පිළිබඳව මම ඉතා සතුටු වෙනවා. ඉරාන ඉස්ලාමීය ජනරජයේ දැනුම, තාක්ෂණය සහ ශක්තිමත් සහයෝගීතාව මත ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණ කරගත් විශිෂ්ට ව්‍යාපෘතියක් අද දින ජනතා අයිතියට පවරා දීමට ලැබීම පිළිබඳවද මම සතුටු වෙනවා.
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරානය සහ ශ්‍රී ලංකාව අතර පවතින සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සාමාන්‍ය ව්‍යාපෘතියක් නොවෙයි. මෙය ඉරාන වෘත්තිකයන් විසින් විශාල කැපවීමකින් සහ විශේෂඥභාවයකින් යුතුව ශ්‍රී ලංකාවේ ජනතාවගේ සුභසාධනය මූලික කරගනිමින් සම්පුර්ණ කළ ව්‍යාපෘතියක් බව කිවයුතුයි.
ඉස්ලාමීය විප්ලවය ජයග්‍රහණය කළ දා සිට ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා ඇති කර ගැනීමට ඉරානය කටයුතු කර තිබෙනවා. වසර ගණනාවක් පුරා, මෙම සබඳතා වර්ධනය වී පුළුල් වී තිබෙනවා. අද අප දෙරට අතර ඉතා ඵලදායී සාකච්ඡා සහ කථා බහක් සිදු වුණා.
දෙරටේම ජනතාවට ප්රතිලාභ සැලසෙන අයුරින් දෙරට අතර දේශපාලන, ආර්ථික, වෙළඳ, සංස්කෘතික, කෘෂිකාර්මික, සංචාරක, විද්‍යා මෙන්ම තාක්ෂණික ක්ෂේත්‍ර තුළ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීමට අප එකඟ වුණා.
ඉරානය සහ ශ්‍රී ලංකාව යන මිත්‍ර රටවල් දෙක තුළම හොඳ විභවයන් සහ හැකියාවන් ගණනාවක් පවතිනවා. මෙම හැකියාවන් සහ විභවයන් අපගේ රටවල් දෙක අතර අන්‍යෝන්‍ය වශයෙන් හුවමාරු කර ගැනීම සහ බෙදා හදා ගැනීම අපගේ රටවල් දෙකට, අපගේ ජාතීන් දෙකට සහ අපගේ කලාප දෙකට ප්‍රයෝජනවත් වනු ඇතැයි මම පෞද්ගලිකව විශ්වාස කරනවා.
අප දෙරට අතර ආර්ථික, වෙළඳ, කෘෂිකාර්මික, විද්‍යාත්මක තාක්ෂණික ක්ෂේත්රයන් සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම පිළිබඳ සොයා බැලෙන ඉරාන – ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව සඳහා වූ ඒකාබද්ධ කොමිසමේ මීළඟ වටය හැකි ඉක්මනින් පැවැත්වීමට කටයුතු කිරීම පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යවරයාට මම ස්තූතිවන්ත වෙනවා.
තර්ජනවලට හෝ සම්බාධකවලට ඉරාන ජනතාව නැවැත්වීමට නොහැකි වූ බවත් ඔවුන්ට කිසි විටෙකත් රටේ සංවර්ධනය හා ප්‍රගතිය කඩාකප්පල් කළ නොහැකි බවත් මා මෙහි දී ශ්‍රී ලංකාවේ ආදරණීය ජනතාව හමුවේ ප්‍රකාශ කරනවා.
අද ඉරාන ඉස්ලාමීය ජනරජය තාක්ෂණික සංවර්ධනයේ ඉහළ ප්‍රගතියක් අත්කරගත් රටක් ලෙස හැඳින්වීමට හැකියාව ලැබී තිබෙනවා. ඉංජිනේරු සහ තාක්ෂණය පිළිබඳ අපගේ විශේෂඥ දැනුම ශ්‍රී ලංකාවට ද ලබාදීමට අප සූදානම් බව ප්‍රකාශ කළ යුතුයි.
මෙම සහාය ලබාදීම තුළින් ශ්‍රී ලංකාවෙ ආර්ථික වර්ධනයට දායක වීමට අපට අවස්ථාව ලැබෙනවා. මෙම උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අප දෙරට අතර පවතින සහයෝගීතාව පිළිබඳ හොඳ උදාහරණයක්.
අද මුස්ලිම් රටවලට සහ මුස්ලිම්වරුන්ට පමණක් නොව ලෝකයේ විවිධ ප්‍රදේශවල වෙසෙන සියලුම මිනිසුන්ට ඇති ප්‍රධානම අභියෝගයන්ගෙන් එකක් වන්නේ පලස්තීනයයි. එය මහා පීඩනයක් වගේම රටට ලොකු තර්ජනයක් ලෙස මම දකිනවා.
ඒ වගේම එය පලස්තීනයේ සහ ගාසා තීරයේ ජනතාවට කරන මහා අපරාධයක් බව කිවයුතුයි. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් වන මෙම බිහිසුණු අපරාධය සියලු මිනිසුන්ගේ කනස්සල්ලට හේතු වන කාරණාවක්. මේ ප්රශ්නය නිසා සියලු දෙනා කණස්සල්ලට පත් වෙලා සිටිනවා. නමුත් ජාත්‍යන්තර ආයතන සහ සංවිධාන මෙන්ම ඒවා බාරව සිටින පුද්ගලයින් ගාසා තීරයේ සහ පලස්තීනයේ සිදු කරන ජන සංහාර සහ ළමා ඝාතන නතර නොකරන්නේ ඇයිද යන්න ප්‍රශ්නයක්.
අද වන විට ගාසා තීරයේ මෙතරම් අපරාධ සහ ළමා ඝාතන සිදු වන බව දැකීම ඉතා කණගාටුදායකයි. මුස්ලිම්වරුන් පමණක් නොව, ලොව පුරා සිටින සෑම ජන කොට්ඨාශයක්ම මෙම සාහසික ක්‍රියා සහ ඝාතන හෙළා දකිනවා.
මිනිස් ස්වරූපයෙන් සිටින වෙනත් ජීවීන් පිරිසක්, සතුන් පවා සිදු නොකරන අන්දමේ මෙවැනි අපරාධ සිදු කරන බව ඇතැමෙකුගේ විශ්වාසයයි. අවාසනාවකට අද වන විට වඩාත් කණගාටුදායක කරුණ වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සහ සියලුම මානව හිමිකම් ආයතන සහ සංවිධාන ඔවුන්ගේ කාර්යක්ෂමතාව හා ක්‍රියාකාරිත්වය නැති කර ගෙන තිබීමයි. ඔවුන් මෙම ජන සංහාරයට හෝ මෙම අපරාධයන්ට එරෙහිව ඒවායේ අවසානය තෙක් කිසිදු ස්ථිර ක්‍රියාමාර්ගයක් නොගැනීමයි.
ගාසා තීරයේ අහිංසක ජනතාවට එරෙහිව සියොන්වාදී ඊශ්‍රායල පාලනයේ බෝම්බ ප්‍රහාර සහ එම ප්‍රහාර වහා අවසන් කිරීම පිළිබඳව සහ මෙම අහිංසක මිනිසුන්ට ජලය, ආහාර, ඖෂධ සහ බෙහෙත් ඇතුළු ආධාර කඩිනමින් ලබා දීම සම්බන්ධයෙන් වූ අපගේ ස්ථාවරත්වය පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපතිතුමා සහ මම සාකච්ඡා කළා.
මෙහි වැදගත් කාරණය වන්නේ පලස්තීනයේ ප්රශ්නය සහ එම ප්රශ්නය විසඳීම සඳහා වන පිළිතුරයි. ඉරාන ඉස්ලාමීය ජනරජය මුලුමනින්ම සහ පූර්ණ ප්රජාතන්ත්රවාදී විසඳුමක් ආරම්භ කර තිබෙනවා. එනම්, සෑම පලස්තීනුවෙකුටම ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දීමයි. මෙයින් මා අදහස් කරන්නේ පලස්තීනුවන්, මුස්ලිම්, ක්‍රිස්තියානීන් හෝ යුදෙව්වන් වේවා, ඔවුන් සෑම කෙනෙකුටම ඡන්දය ප්‍රකාශ කිරීමට අයිතියක් ඇති බවයි.
එමඟින් ඔවුන්ට මීළඟට පැමිණෙන රජය පිළිබඳව තීරණය කළ හැකි වෙනවා. මෙය සම්පුර්ණයෙන්ම යුක්ති සහගත සහ ප්රජාතන්ත්රවාදී මුලපිරීමක්. පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් සහ කොල්ලකෑම සම්බන්ධයෙන් ගත් කළ, සියොන්වාදී ඊශ්‍රායල පාලනය වසර 75 ක් තිස්සේ පලස්තීනයේ ජනතාවට පීඩා පමුණුවමින් සිටිනවා. ඔවුන් සිය බල ප්‍රදේශ කොල්ලකමින් සිට තිබෙනවා. එබැවින් කොල්ලකරුවන් සහ පීඩකයන් සම්බන්ධයෙන් ගත් කළ, ඔවුන්ගේ මෙහෙයුම් සිදු කිරීමට වැඩි ඉඩකඩක් සහ නිදහසක් අප විසින් ලබා නොදිය යුතුයි.
නමුත් පළමුවෙන්ම, අපි පීඩකයන් එළවා දැමිය යුතු වෙනවා. අනතුරුව, ඔවුන් විසින් සිදු කරන ලද සියලුම හානි සඳහා වන්දි ගෙවීමට අප කටයුතු කළ යුතු වෙනවා. තෙවනුව, අපි එම පීඩකයන් සහ කොල්ලකරුවන් නීතිය ඉදිරියට රැගෙන ආ යුතුයි.
වෙනත් කණ්ඩායමක් විසින් අනෙකෙකුට අයත් ඉඩම් සහ භූමි ප්‍රයෝජනයට ගැනීම හෝ අත්පත් කර නොගන්නා බව තහවුරු කිරීමට හැකි කිසිඳු සහතිකයක් නැහැ. අපි ඔවුන්ව යුක්තිය ඉදිරියට ගෙන නොයන්නේ නම්, ඔවුන් තව නව භූමි ප්‍රදේශ කිහිපයක් ද අල්ලා ගැනීමට කටයුතු කරනු ඇතියි.
ඔවුන් තම ජනතාවට, ඔවුන්ගේ කාන්තාවන්ට සහ දරුවන්ට එම ප්‍රදේශවලින් ඉවත් වීමට බල කරනු ඇතියි. ලෝකයේ සාධාරණ අවකාශයක් ස්ථාපිත වී ඇති බව අප ඔප්පු කළ යුතු වෙනවා. සාපරාධී සියොන්වාදී ඊශ්‍රායල පාලන තන්ත්රය ඉතා යුක්ති සහගත ලෙස එහි ක්‍රියාමාර්ග හා ක්‍රියාමාර්ගවලට වගවීම පිළිබඳව ජාත්‍යන්තර අධිකරණයෙන් විමසිය යුතු වෙනවා. ඒ නිසා කිසිවෙක්, කිසිම පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් හෝ කිසිම රටක් කාන්තාවන් සහ ළමයින් මරා දැමීම, වැසියන් ඔවුන්ගේ භූමියෙන් බලහත්කාරයෙන් නෙරපීම වැනි දේ නොකළ යුතු වෙනවා.
අපව පිළිගැනීම සහ අපට සංග්‍රහ සත්කාර කිරීම පිළිබඳව මම ශ්‍රී ලංකා ජනාධිපතිතුමාටත්, රජයටත් ස්තූතිවන්ත වෙනවා. මගේ මෙන්ම ඉරාන රජයේත් ස්තූතිය ඒ වෙනුවෙන් පිරිනමනවා.
එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඉරානය අතර දේශපාලන, ආර්ථික, වෙළඳ මෙන්ම සංස්කෘතික සබඳතා පුළුල් කිරීම සඳහා සීමාවක් හෝ බාධාවක් නොමැති බව මා ප්‍රකාශ කරනවා. අප දෙරට අතර දේශපාලන, ආර්ථික, වෙළඳ සහ සංස්කෘතික යන ක්ෂේත්රවල ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීම සඳහා අප දෙරටම අධිෂ්ඨානයෙන් කටයතු කළයුතු වෙනවා. එසේම අපගේ අන්‍යෝන්‍ය ප්රතිලාභ සහ අවශ්‍යතා අපගේ ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කිරීම තුළ පවතින බව අපි තදින්ම විශ්වාස කරනවා.