අනුර කුමාර දිසානායක හා චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් අතර හමුවක්

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය Sun Haiyan ඇතුළු දූත පිරිසක් (23) ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක හමු වී තිබෙනවා.

මෙම හමුවේදී මෙරට වත්මන් දේශපාලන තත්ත්වය, ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සහ වර්ධනය විය හැකි දේශපාලන තත්ත්වයන් පිළිබදව ද, මැතිවරණයක් සඳහා ජාතික ජන බලවේගයේ සූදානම පිළිබඳව ද සාකච්ඡාවට ලක් වූ බවයි එම පක්ෂය පැවසුවේ.

නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්වයෙන් රට ගොඩගැනීම සඳහා මූලිකව දේශපාලන ස්ථාවරත්වයක් රට තුළ ඇති කිරීමේ වැදගත්කම ජාතික ජන බලවේගයේ නායකයින් විසින් මෙහිදී පෙන්වා දී ඇති අතර, දේශපාලන ක්ෂේත්‍රය තුළ ජාතික ජන බලවේගය වේගයෙන් වර්ධනය වෙමින් මහජනතාවගේ ජනප්‍රියත්වය හා ආකර්ෂණය අත් කර ගැනීමේදී අනුගමනය කළ ක්‍රියාමාර්ග සහ සංවිධාන ව්‍යුහයන් පිළිබඳවද මෙහිදී චීන දූත පිරිසේ අවධානය යොමු වී තිබෙනවා.

චීන කොමියුනිස්ට් පක්ෂය සමග ඇති අන්‍යෝන්‍ය විශ්වාසය, සමාජ සංස්කෘතික සබඳතා හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ තවදුරටත් වර්ධනය කර ගැනීම හා ආර්ථිකය සංවර්ධනය කිරීමේදී එම සබඳතා යොදාගත හැකි ආකාරය පිළිබඳවත් දෙපාර්ශ්වය අතර වැඩිදුරටත් සාකච්ඡා වූ බවයි වාර්තා වන්නේ.

news images
news images
news images
news images
news images