ශ්‍රීලනිපයේ වැඩ බලන සභාපති පත් කිරීමට එරෙහිව අධිකරණයට යනවා – ඇමැති මහින්ද අමරවීර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ පත් කිරීම අනීතික නිසා එම පත්වීමට එරෙහිව අධිකරණයට යෑමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර ප්‍රකාශ කරයි. ඇමැතිවරයා මේ බව පැවැසුවේ (22) අඟුණකොළපැලැස්සේ පිහිටි ඇමැතිවරයාගේ නිවෙසේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“හිටපු සභාපතිවරයාට මෙන්ම ලේකම්වරයාටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධව කටයුතු කිරීම ලබන මස 09 වැනි දින තෙක් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙන අවස්ථාවක මෙවැනි තීරණයක් ගැනීම අධිකරණයට අපහාස කිරීමක්.‌ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන්දේසි කරනවා. ඉදිරියේදී මේ පක්ෂය පමණක් නොව පක්ෂ මූලස්ථාන ගොඩනැඟිල්ලත් ඔහු වෙන්දේසි කරයි දැයි සැකයක් තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ පත් කිරීමට හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ කණ්ඩායමක් පසුගියදා කටයුතු කළා. මේ ගත් තීරණය මුළුමනින්ම අනීතිකයි.

ඒ නිසා අපි මේ සම්බන්ධව අධිකරණයට යනවා. මේ කාරණයට සම්බන්ධ වෙන්න හිටපු සභාපතිවරයාට කිසිදු බලයක් නෑ. ඔහු අධිකරණයට අපහාස කිරීමක් සිදු කර තිබෙනවා. පසුගියදා දේශපාලන මණ්ඩලය කියලා එකක් කැඳවා තිබුණා. ඒකේ හිටියේ රස්තියාදුකාරයන් ටිකක් වගේම ඩීල්කාරයන් ටිකක්. දේශපාලන මණ්ඩලය එහි නියෝජනයක් තිබුණේ නෑ.

මීට පෙර දේශපාලන මණ්ඩල රැස්වීමකදී වැඩ බලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා පත් කර තිබෙනවා. එම පත්කිරීම සම්බන්ධව අද වන තෙක් කිසිදු අයෙක් ඊට එරෙහිව අධිකරණමය පියවරක් ගෙන නෑ. ඒකෙන්ම පෙනෙනවා, එම පත් කිරීම නීත්‍යනුකූල බව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේ කාරණය දැනගන්න අවශ්‍යයි. නිමල් සිරිපාල ද සිල්වා තමයි දැන් මේ පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස පත් කර තිබෙන්නේ. එම කටයුත්ත නීත්‍යනුකූලයි.

මේ අනීතික රැස්වීමේ සම්පූර්ණ මැදිහත්වීම කර තිබෙන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ආරක්ෂාවට දී තිබෙන ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින්. ඔවුන් සමහර කණ්ඩායම්වලට ඇතුළට යෑම වළක්වා තිබෙනවා. රැස්වීම අතරතුර සියලු මැදිහත්වීම් ඔවුන් කර තිබෙනවා. ඒ වගේම විජයදාස රාජපක්ෂ පත් කිරීම සම්බන්ධව විරෝධය පළ කළ තිලංග සුමතිපාල ඇතුළු කණ්ඩායමට මේ ආරක්ෂක අංශයේ අය තර්ජනය කර තිබෙනවා.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂක අංශ සාමාජිකයන් 150කට වැඩි පිරිසක් දී තියෙනවා. STF කණ්ඩායමක් වෙනමම දී තිබෙනවා. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක තියෙන්නේ 50 කණ්ඩායමක්. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂාව අවශ්‍යයි. මොකද ඒ මහතා යුද්ධය අවසන් කළේ. ඒ මහතාට යම් යම් තර්ජන තිබෙන නිසා ආරක්ෂාව අවශ්‍යයි. නමුත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට මොකටද එච්චර ආරක්ෂකයන් පිරිසක්. ඒ මහතාට තිබෙන ජීවිත තර්ජනය මොකක්ද? අනෙක ඒ මහතා කළ දේ මොකක්ද? මේ අය දී තිබෙන්නේ ඒ ප්‍රභූවරයාගේ ආරක්ෂාවට මිසක් දේශපාලන කටයුතුවලට මැදිහත් වෙන්න නෙවෙයි.

අපට දැන ගන්නට ලැබුණා මේ ළඟදී දවසක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් හිටපු ජනාධිපතිවරයා මුණගැහුණු බව. ඔහු ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලන කෙනෙක්. ඒ ව්‍යාපාරිකයාගෙන් රුපියල් මිලියන 100ක් ඉල්ලා තිබෙනවා. නමුත් ඒ ව්‍යාපාරිකයා ඒක ප්‍රතික්ෂේප කළා. මං ඒ ගැන ඇහුවාම හිටපු සභාපතිවරයා ඒක පිළිගත්තා. ඔහුගේ නඩුවලට වියදම් කරන්න මුදල් හොයන්න ඔහු කරන්නේ මේ පක්ෂය වෙන්දේසි කරන එක. තමන්ගේ පුද්ගලික ප්‍රශ්නවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැදිහත් කර ගන්න එක අසාධාරණ වැඩක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙක් අද මුදලට යටව පක්ෂය විනාශ කරනවා. තමන්ට තිබෙන නඩුහබවලින් බේරෙන්න පක්ෂය විනාශ කරනවා. අපි ඊට ඉඩ දෙන්නේ නෑ. පක්ෂයේ හිටපු සභාපතිගේ ක්‍රියා කලාපය දරාගන්න බැරිව පසුගිය කාලයේ විශාල පිරිසක් වෙනත් පක්ෂවලට ගියා. නමුත් මේ පක්ෂය විනාශ වෙන්න අපි ඉඩ දෙන්නේ නෑ. අපි මේ පක්ෂය ආරක්ෂා කරනවා. ඩීල්කාරයන්ගෙනුයි, රස්තියාදුකාරයන්ගෙනුයි අපි මේ පක්ෂය ආරක්ෂා කරනවා. ඒක අපි අපේ පක්ෂයේ සියලු දෙනාට ප්‍රතිඥා දෙනවා. මේ පක්ෂය විනාශ වෙන්න දෙන්නේ නෑ. ඉවසීමෙන් කටයුතු කරන ලෙස අපි සියලු සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.”