වෑමැඩිල්ල වේල්ලේ දිය නාද්දී තාත්තයි – දුවයි ගසාගෙන ගිහින්

මාධ්‍ය‍ෙව්දියා දිවි පරදුවට තබා වතුරට පැන දෙදෙනාම බේරාගනී

වෑමැඩිල්ල ජලාශය හරහා වයඹ ප්‍රදේශයට ජලය රැගෙන යෑම සඳහා අභිනවයෙන් ඉදිකරන ලද වේල්ලක දිය නෑමට ගොස් සිටියදී දියේ ගසාගෙන යමින් සිටි දියණියකගේ සහ පියකුගේ ජීවිතය බේරා ගැනීමට මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස කටයුතු කළේය.

මෙසේ ජල පහරට ගසාගෙන යද්දී දිවි බේරා ගනු ලැබුවේ ගලේවෙල වලස්වැව ප්‍රදේශයේ පදිංචි තොලඹුගොල්ල විද්‍යාලයේ හයවැනි වසරේ ඉගෙනුම ලබන හිරුෂි කෞෂල්‍යා දියණිය සහ ඇයගේ පියා වූ රසික ගයාන් යන දෙදෙනාය.

පසුගියදා වෑ මැඩිල්ල ජලාශයේ සිට වයඹ ඇළට ජලය රැගෙන යන කොන්ක්‍රීට් ඇළවේලි මාර්ගයේ විශාල ජලයක් ගලායමින් තිබිණි. ප්‍රදේශයේ බොහෝ දෙනෙක් පවතින දැඩි අව් රශ්මිය නිසා එම දිය පහරේ දිය නෑම සඳහා පැමිණ සිටියහ.

මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස ඔහුගේ මිතුරන් තිදෙනෙකු සමග මෝටර් රථයෙන් ඇළ මාර්ගය මතින් ඇති මාර්ගයේ ගමන් කරමින් සිටියදී එකවරම මෙම දියණිය ජල පහරට ගසාගෙන යන අයුරු දැක මෝටර් රථය නවතා ඔහු ඇඳගෙන සිටි ඇඳුම් පිටින්ම ඇගේ දිවි බේරාගන්නට ඇළ මාර්ගයට පැන තිබේ. පිහිනා ගොස් එම දියණියගේ ජීවිතය බේරාගෙන ගොඩ ගන්නාවත් සමඟ දියණියගේ කෑගැසිල්ලත් සමඟින් ඇයගේ ජීවිතය බේරා ගැනීමට ගිය පියාද ජල‍ෙය් ගසාගෙන යන බව දියණිය ඔහුට පවසා ඇත. ඒ අනුව දියේ ගසාගෙන යමින් සිටි එම පියාගේ ද ජීවිතය බේරා ගැනීමට හැකි විය.

දඹුල්ල ජල ක්‍රීඩා සංගමයේ සාමාජිකයකු සහ සභාපති ලේකම් යන නිලතල කාලයක් තිස්සේ දරමින් ජලයේ ගිලි විනාශ වන ජීවිත බේරා ගැනීම සඳහා වසර ගණනාවක සිටි පාසල් සිසුන් දැනුවත් කිරීමේ කටයුතු කරමින් සිටින මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස සඳහන් කළේ එකවරම තමන් දියේ ගසා ගෙන යන දියණිය දුටු බවය.

කෙසේ වෙතත් එම අවස්ථාවේ තමන්ට ද සිටින්නේ දියණියන් දෙදෙනෙකු බැවින් ඒ ගැන මතකයට නැඟුණු බව ද ඔහු පවසයි. ඒ මතකයත් සමග වහා එම ස්ථානයෙන් ජලයට පැන එම ජීවිත දෙක බේරා ගැනීමට හැකි වූ බවත් දෙන්නා කොන්ක්‍රීට් වේල්ලෙන් ගොඩ ගැනීම සඳහා තම මිතුරන් තිදෙනාගේ මෙන්ම අසල්වැසි කීපදෙනෙකුගේ සහය ලැබුණු බවත් ඔහු පැවසීය.

දිවි බේරාගත් දියණිය තම අත්දැකීම් විස්තර කරමින් කියා සිටියේ තමා පියා සමඟ දිය නෑමට වයඹ ඇළට ගිය බවය. ජලයට බැස සිටියදී තමන් සහ පියා ගසාගෙන ගිය බවත් දියේ ගසා ගෙන යන අවස්ථාවේ දී කාන්චන කුමාර ආරියදාස මාමා වතුරට පැන තමන්ව ගොඩ ගත් බවත්ය. පසුව තම පියාත් ගොඩ ගත් බව ඇය සඳහන් කරන්නට වූවාය.

කෞෂල්‍යා දියණියගේ පියා වන රසික ගයාන් දැඩි හැඟීම්බරව කියා සිටියේ තමන් සහ දියණිය දියේ ගසාගෙන යන අවස්ථාවේදී තමන් දියණිය බේරා ගැනීමට විශාල සටනක් ලබා දෙමින් සිටියදී තමන් ද දිය පහරට හසුවූ බවය. කෙසේ වෙතත් දෙවියන් විසින් එවූ අයෙකු ලෙස වහාම කාංචන කුමාර ඉදිරිපත්ව දියට පැන තමන් දෙදෙනාගේම ජීවිත බේරා ගත් බවත් ඒ සඳහා ඔහු සමඟ පැමිණි අනෙක් මිතුරන්ගේ ද සහාය ලැබුණු බව පැවසීය.