ජනපති එන්නේ පොදු අපේක්ෂකයකු ලෙස ස්වාධීන ලකුණකින්

-ශ්‍රීලනිප ඇතුළු පක්ෂ කිහිපයක බලකණු එජාප මැයි රැලියට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක ප්‍රධානීන් එජාපය හා එක්වීමට සාකච්ඡා ආරම්භ කර තිබෙන බවත් ඔවුන් කිහිපදෙනකු මැයි පළමු දා එජාප වේදිකාවට ගොඩවීමට නියමිත බවත් එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි. මෙවර එජාපය ඉතිහාසයේ දැවැන්තම මැයි රැලිය පවත්වන බව ද ඒ මහතා කීය. මහනුවර පාතහේවාහැට ආසනයේ පැවැති රැස්වීමකදී රංගේ බණ්ඩාර මේ බව පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගොස් එදා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ඇතුළු කණ්ඩායම බිහි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මේ වන විට දැඩි අර්බුද මතුව තිබෙන බවත් ඔවුන්ට මේ මොහොතේ ගතහැකි හොඳම ක්‍රියාමාර්ගය එජාපය හා එක්වීම බවත් හෙතෙම ප්‍රකාශ කළේය. කවුරු මොනවා කීව ද මුලින් පවත්වන්නේ ජනපතිවරණය යැයි ද පැවසුවේය. බැලට් පේපර් එකේ පොහොට්ටු ලකුණු තිබිය යුතු යැයි කියන අය ඒ සලකුණ යටතේ අපේක්ෂකයකු ජනපතිවරණයට ඉදිරිපත් කරනු ඇති බවත් රනිල් වික්‍රමසිංහ ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ ස්වාධීන ලකුණකින් පොදු අපේක්ෂකයකු ලෙස බවත් හෙතෙම අවධාරණය කළේය.