කෙසෙල්වත්ත පේෂකර්ම මධ්‍යස්ථානය කැලෑවට ගිහින්

යන්ත්‍ර සූත්‍ර-උළුවහු ජනෙල් හොරු ගලවලා ගොඩනැඟිල්ලට ඉඩම දුන් කෙනාත් යළි ඉඩම ඉල්ලනවා – ඌව පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ

මීගහකිවුල, කෙසෙල්වත්ත අත්යන්ත්‍ර මැහුම් පුහුණු මධ්‍යස්ථාන ගොඩනැඟිල්ල මුළුමනින්ම කැඩි බිඳී විනාශ වෙමින් පවතී.

මීට වසර ගණනාවකට පෙර මෙමඟින් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන රැසක තරුණියන්ට අත්යන්ත්‍ර මැහුම් පුහුණුව ලබා දුන් බවත්, නිසි නඩත්තුවකට ලක් නොවීම හේතුවෙන් මෙම මැහුම් පුහුණු මධ්‍යස්ථානය මේ අයුරින් විනාශ වෙමින් පවතින බවත් ජනතාව පවසති. කලක් තිස්සේ මෙම ගොඩනැඟිල්ල වසා දමා තිබූ අතර, අනතුරුව එහි යන්ත්‍ර සූත්‍ර කිසියම් පිරිසක් ගලවාගෙන ගිය බවත්, ඉන්පසු ගොඩනැඟිල්ලේ දොර උළුවහුවල ලී පරාල ආදිය එකින් එක අතුරුදන් වූ බවත් ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. කෙසේ වෙතත් මේ වන විට මෙහි ඉතිරිව ඇත්තේ ගඩොල් බිත්ති කිහිපය පමණි. ගොඩනැඟිල්ල යට කරගෙන දැවැන්ත ගස් වැල් ද හටගෙන තිබෙන අයුරු දැකගත හැකිය.

ඌව පළාත් කර්මාන්ත අධ්‍යක්ෂක අජිත් දිසානායක මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය.

” මෙම පේෂකර්ම මධ්‍යස්ථානය අවුරුදු ගාණක් තිස්සේ ප්‍රයෝජනයට ගෙන නැහැ. මෙම ගොඩනැඟිල්ල අප සතු වුවත් එහි අයිතිය තිබෙන්නේ පෞද්ගලික අයකුට. එම පුද්ගලයාගේ පරිත්‍යාගයෙන් තමයි මෙම ස්ථානයේ මෙම ගොඩනැඟිල්ල ඉදිකළේ. නමුත් දැන් මෙම ගොඩනැඟිල්ල කඩා වැටිලා. එම ඉඩම දුන් පුද්ගලයා යළි ඉඩම අවශ්‍ය බව ප්‍රකාශ කරනවා. එම නිසා මෙම ගැටලුව විසඳීමට අප එය මීගහකිවුල ප්‍රාදේශීය ලේකම්වරියට භාර කර තිබෙනවා ඉදිරියේදී එතුමිය අවශ්‍ය පියවර ගනීවි.”

දහස් සංඛ්‍යාත පිරිසකට අත් යන්ත්‍ර මැහුම් පුහුණුව ලබා දුන් මෙම ආයතනය මෙම ස්ථානයේම හෝ වෙනත් ස්ථානයක යළි ආරම්භ කරන්නැයි ප්‍රදේශයේ තරුණ තරුණියෝ ඌව පළාත් පේෂකර්ම දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිති.