ආර්ථික අර්බුද හමුවේ ලෝකයේ රටවල්

රාජ්‍ය සේවය කප්පාදු කළත් අපේ ආණ්ඩුව එසේ කරන්නේ නැහැ – අගමැති දිනේෂ් ගුණවර්ධන

ආර්ථික අර්බුදයන් හමුවේ ලෝකයේ රටවල් රාජ්‍ය සේවය බරපතළ කප්පාදුවකට ලක් කළත් අප කිසිවිට රාජ්‍ය සේවය අකර්මණ්‍ය කිරීමට ඉඩ නොදුන් බව අගමැති දිනේෂ් ගුණවර්ධන පැවැසීය.

දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමිකරුවන් නංවාලීම අරමුණු කරගෙන සිදු කරන බිත්තර රැක්කවීමේ යන්ත්‍ර බෙදා දීමේ වැඩසටහනට (22 ) එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.

පසුගිය කාලසීමාව තුළ රටක් ලෙස අප අත්විඳි අභියෝගාත්මක තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ යාවත්කාලීන වූ ආර්ථිකමය තීන්දු තීරණ විශාල බලපෑමක් එල්ල කළා.

මේ මොහොතේදී චීන සමූහාණ්ඩුව වැනි රටවල් අප වෙත දක්වන ආර්ථිකමය සාණුබලයන් ද විශාල ශක්තියක් අපට ලබා දී තියෙනවා. ඒ ශක්තිය මත පදනම්ව තමයි සංවර්ධන ව්‍යාපෘතීන් යළි ගමට ගෙන ඒමට අපට හැකිවෙලා තියෙන්නේ. මේ කටයුත්තේදී රජයේත් රාජ්‍ය නිලධාරීන්ගේත් මුලික වගකීමක් ලෙස මම දකින්නේ මේ රටේ අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම. මේ කාර්යය සඳහා අද වැඩි අවධානයක් යොමුවිය යුතුයි. මෙහිදී ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වන ව්‍යාපෘතීන් වැඩි වැඩියෙන් ගමට ගෙන යෑම සඳහා වන ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් වැඩි වැඩියෙන් අපි කල්පනා කළ යුතුයි.මේ තුන් කෝරළය ඉතිහාසයේ පටන් රටේ නිදහස වෙනුවෙන් කැපවුණ ජනතාවක් වාසය කළ ප්‍රදේශයක්. එවන් උදාර ජන කොටසක් ජීවත්වන මේ ප්‍රදේශයට මේ ජීවනෝපායන ක්‍රමවේදය හඳුන්වා දීම තුළ විශාල පිබිදීමක් ඇති කළ හැකියි.

අගමැති කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වගේම පෞද්ගලික අංශයත් එක්කොට ගත් සාමුහික ප්‍රයත්නයක් තුළ ගමට නිෂ්පාදන අවස්ථා වගේම ආයෝජන අවස්ථා ගෙන ඒම සඳහා වන හැකියාවක් මෙවැනි ව්‍යාපෘතීන් තුළින් අපට ලැබෙනවා. ලෝක ආර්ථිකය දෙස බලන කොට පේනව විටින් විට එය විවිධ කඩා වැටීම්වලට ලක්වෙනවා.ඒ කඩා වැටීම් වලින් රටක් ගොඩ එන්නට දරන පරිශ්‍රමයේදී ජනතාවට යම් යම් පීඩාවන්වලට ලක් වන්නට සිදු වෙනවා. විශේෂයෙන් ආදයම් මාර්ගවල ගැටලු ඇතිවීම් වෙනවා. ග්‍රීසියට බලපාපු ආර්ථික අර්බුදය තුළ ගත් පළමු ක්‍රියාමාර්ගය තමයි රාජ්‍ය සේවයේ සියයට 40ක් ඉවත් කරපු එක. විශ්‍රාමික ජනතාවට ගෙවපු වැටුපෙන් භාගයක් ගෙවීමට ආණ්ඩුව කටයුතු කළා. නවසීලන්තයත් මේ වගේම ආර්ථික අර්බුදයක් වේලාවේ රටේ විදේශ සේවාවේ විශාල කප්පාදු කිරීමක් සිදු කළා. මේ යෝජනාවම ජාත්‍යන්තරය අපෙන් කරද්දිත් අපි ඒ යෝජනා ප්‍රතික්ෂේප කළේ රාජ්‍ය සේවකයාගේ අයිතීන් දිනා දීම වෙනුවෙන්. දැන් මේ අපි දියත් කරන ව්‍යාපෘතිය තුළ අපි අපේක්ෂා කරන්නේ ග්‍රාමීය පෝෂණය හා නිෂ්පාදනය වැඩි කිරීම. අපිට මතකයි බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව එදා වතු සමාගම් සතු ඉඩම් සහ පෞද්ගලික අතිරික්ත ඉඩම් ජනසතු කරමින් ඒවා ජනතාවගේ සංවර්ධනය සඳහා යෙදවීමට අවශ්‍ය වැඩකටයුතු සිද්ද කළා.

මේ අවස්ථාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදත් මංජුල, උදයකාන්ත ගුණතිලක, රාජිකා විකමසිංහ, යදාමිණි ගුණවර්ධන එක්ව සිටියහ.