ත්‍රිරෝද රථය ට්‍රක් රථයක ගැටී සීයයි, මුණුබුරයි මිනිබිරියයි මියයෑම:

ත්‍රිරෝද රථය ට්‍රක් රථයේ හැපී තාත්තා ත්‍රිරෝද රියෙන් එළියට වීසි වී ගිහින් -දියණිය සම්මානි සාක්ෂි දෙයි

මාරක රිය අනතුරකින් ශරීරයට වූ බහුවිධ තුවාල හේතුවෙන් සිදුවූ මරණයක්: ලොරි රියැදුරා උසාවියට ඉදිරිපත් කරන්න

ඇල්පිටිය හදිසි මරණ පරීක්ෂක කියයි

“තාත්තා ත්‍රිරෝද රථයෙන් යමින් සිටිය දී කැටපල ප්‍රදේශයේදී වැරැදි පැත්තෙන් ඉදිරියට එමින් තිබූ ට්‍රක් රථයක් මුහුණට මුහුණ ගැටී තිබෙනවා. ත්‍රිරෝද රථය ට්‍රක් රථයේ හැපී තාත්තා ත්‍රිරෝද රථයෙන් එළියට වීසි වී ගිහින්. ඇල්පිටිය අවිත්තාව මාර්ගයේ කැටපල පල්ලිය අසල දී සිදු වූ රිය අනතුරෙන් මියගිය නොම්මර 40/1, අඹගහදූව, වල් අඹගල, ඇල්පිටිය ලිපිනයේ පදිංචි කාලිංග නිහාල් සෝමරත්න මහතාගේ හදිසි මරණය සම්බන්ධයෙන් පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී එසේ පැවසුවේ මියගිය අයගේ දියණියක වන කාලිංග සම්මානි ප්‍රාර්ථනා සෝමරත්නයි.

හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු ආර්. ගාමිණී ඩයස් විසින් ඇල්පිටිය මූලික රෝහලේදී මේ හදිසි මරණ පරීක්ෂණය පවත්වනු ලැබීය.

ඇල්පිටිය පොලිසියේ රථවාහන අංශයේ සැරයන් (58472) පිටිගල කංකානම්ගේ ප්‍රේමතිලකගේ මෙහෙයවීමෙන් මෙහිදී සාක්ෂි දුන් සම්මානි ප්‍රාර්ථනා සෝමරත්න මෙසේද කීවාය.

මියගොස් සිටින්නේ මගේ තාත්තා. තාත්තාගේ වැඩිමහල් සොහොයුරිය සිටින්නේ මතුගම ඉඳිගස්තුඩුවේ. නැන්දා අසනීපයෙන් සිටියේ. ඇය බලන්න තාත්තා අම්මා සහ මගේ අක්කාත්, අක්කාගේ දරුවන් තිදෙනාත් තාත්තාගේ ත්‍රිරෝද රථයෙන් එහි යෑමට ගියා. එසේ යනවිට කැටපල ප්‍රදේශයේදී ඉදිරියෙන් වැරැදි පැත්තෙන් ට්‍රක් රථයක් පැමිණ තිබෙනවා. තාත්තා ත්‍රිරෝද රථය ට්‍රක් රථයේ ගැටීම වළක්වා ගන්න ත්‍රිරෝද රථය දකුණු පසට ගෙන තිබෙනවා. එසේ කරනවාත් සමඟම ත්‍රිරෝද රථය ට්‍රක් රථයේ ගැටී තාත්තා ත්‍රිරෝද රථයෙන් එළියට වීසි වී තිබෙනවා. ත්‍රිරෝද රථයටත් බරපතළ හානි වෙලා තිබුණා. තුවාලකරුවන් ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබුණා. එහිදී තාත්තා මියගොස් තිබුණා. මේ අනතුරෙන් තුවාල ලබා සිටි මගේ අම්මා, අක්කා සහ අක්කාගේ දරුවන් දෙදෙනා ගාල්ල කරාපිටිය රෝහලට රැගෙන ගොස් තිබුණා. එහි ප්‍රතිකාර ලබමින් සිටියදී අක්කාගේ

දරුවන් දෙදෙනාත් මියගොස් ඇති බව දැනගන්න ලැබුණා.

තාත්තලා ගියේ අසනීපයෙන් සිටින තාත්තාගේ සහෝදරිය බලන්නයි. එහේ යන්න කලින් තාත්තා ඒ නැන්දලාගේ ගෙදරට කෝල් කර කියා තිබෙනවා දවල්ට කෑම සූදානම් කර තියන්න කියලා. ඉඳිගස්තුඩුවේ නැන්දා බලලා කීරන්තුඩුවේ ඉන්න නැන්දලගේ ගෙදරට ගිහින් එහේ රෑට නැවතිලා පසුදින උදේ ආපසු එන්නයි තාත්තලා ගිහින් තිබුණේ.

මෙහිදී මියගිය කාලිංග සෝමරත්න මහතාගේ සොහොයුරකු වන කාලිංග සුමනසිරි යන අය ද සාක්ෂි දුන්නේය. ඇල්පිටිය මූලික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය එම්.එච්.කේ. ලංකේෂ්වර විසින් පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය කළ අතර පශ්චාත් වෛද්‍ය පරීක්ෂණ වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්ෂි ඇතුළු සියලු කරුණු සලකා බැලූ ඇල්පිටිය හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු ආර්. ගාමිණී ඩයස් මහතා මෙය මාරක රිය අනතුරකින් ශරීරයට වූ බහුවිධ තුවාල හේතුවෙන් සිදුවූවක් බවට තීරණය කළ අතර ලොරියේ රියැදුරා වහා අත්අඩංගුවට ගෙන ඇල්පිටිය මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.