විජයදාසගේ පොහොට්ටු සාමාජිකත්වය අහිමි වීමේ අවදානමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකයෙක්ව සිටියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් පත්වීම පිළිබඳ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන

පෙරමුණ අවධාරණය කරයි. ඒ අනුව අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයෙක්ව සිටියදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන සභාපති ධුරයට පත්වීම බරපතළ තත්ත්වයක් බවත් පක්‍ෂ සාමාජිකත්වය පිළිබඳ කඩිනමින් තීරණයක් ගනු ඇති බවත් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි ප්‍රකාශ කරයි.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී (22) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළේය. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම්වරයා සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් විසින් මේ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බව ද හෙතෙම පැවැසීය.

බැලූ බැල්මට ඉතා පැහැදිලිව විජයදාස රාජපක්‍ෂ වැරැද්දක් කර ඇතැයි පෙනෙන බව පෙන්වා දුන් ඒ මහතා ඒ අනුව විජයදාස රාජපක්‍ෂට පක්‍ෂ සාමාජිකත්වය අහිමිවීමේ අවදානමක් ඇති බව ද පක්‍ෂ සාමාජිකත්වය අහිමිවුවහොත් මන්ත්‍රී ධුරයට ද ගැටලුවක් ඇති විය හැකි බව ද කීවේය.

පසුගිය 20 දා රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව විසින් එම පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ වැඩබලන සභාපතිවරයා වශයෙන් තෝරා පත්කර ගෙන තිබේ.