රේස් යන කාර්වලට RMV ලියාපදිංචිය නෑ- නව ක්‍රමවේදයක් සකසන ලෙස ඇමැතිගෙන් උපදෙස්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ

මෝටර් රථ ධාවන තරග සඳහා යොදා ගන්නා වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමට අවශ්‍ය නිර්දේශ ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීමට එම දෙපාර්තමේන්තුව සූදානම් වේ. රටම කම්පා කරමින් (21) දියතලාව ෆොක්ස් හිල් මෝටර් ධාවන තරගය අතුරතුර සිදුවූ අනතුරින් පසු ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ලබා දුන් උපදෙස් ප්‍රකාරව මේ පියවර ගත් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ (22) පැවැසීය.

මෝටර් රථ ධාවන තරග සඳහා යොදා ගන්නා රථ බොහොමයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකිරීම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බව කොමසාරිස්වරයා ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන හමුවේ පවසා ඇත. එහි දී ඇමැතිවරයා උපදෙස් දී ඇත්තේ ධාවන තරග සඳහා යොදා ගන්නා වාහන ලියාපදිංචිය සඳහා නව ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි.

ඒ අනුව ධාවන තරග සඳහා යොදා ගන්නා මෝටර් රථ ලියාපදිංචියට අදාළ නව ක්‍රමවේදයක් සහිතව කැබිනට් පත්‍රිකාවක් සකස් කර කඩිනමින් ඇමැතිවරයා වෙත භාර දෙන බව ද වැඩිදුරටත් කීවේය.