නීති විරෝධීව මසුන් මැරූ 17ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කිලිනොච්චිය කදෙයිකාඩු මුහුදු ප්‍රදේශයේ, මුතූර් උප්පාරු මුහුදු ප්‍රදේශයේ, මුලතිව් නයාරු කලපු ප්‍රදේශයේ සහ පුදුමාතලන් මුහුදු ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 17 සහ 18 යන දිනයන්හිදී සිදුකළ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කළ, තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ සහ නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදු කළ පුද්ගලයින් 17 දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රා 07ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදු කෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඬපවත්වා, නීත්‍යනුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2024 අප්‍රේල් මස 17 වැනිදා උතුරු නාවික විධානයේ වෙත්තලකේනි නාවික ස්ථානගතකිරීම මඟින් කිලිනොච්චිය කදෙයිකාඩු මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කර, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් තිදෙනෙකු (03) සමඟ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. නැඟෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා පැරකුම්බා ආයතනය මඟින් මුතූර් උප්පාරු මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්ෂාවට ලක් කර, තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 07දෙනෙකු සමඟ එම ඩිංගි යාත්‍රාව 2024 අප්‍රේල් මස 18 වැනිදා නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

එමෙන්ම, 2024 අප්‍රේල් මස 18 වැනිදා නැඟෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනය මඟින් මුලතිව් නයාරු කලපු ප්‍රදේශයේ සහ පුදුමාතලන් මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු ඩිංගි යාත්‍රා පහක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හත් දෙනෙකු (07) සමඟ එම ඩිංගි යාත්‍රා පහ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 22ත්, 43ත් අතර වයසේ පසුවන මුතූර්, මන්නාරම, පුල්මුඩේ, සඳලංකාව, පුදුමාතලන් සහ මුල්ලිවයික්කාල් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇත. තවද, කිලිනොච්චිය කදෙයිකාඩු මුහුදු ප්‍රදේශයේ දී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තිදෙනා සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතීමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙතත්, මුතූර් උප්පාරු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් හත් දෙනා සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතීමය කටයුතු සඳහා මුතූර් ධීවර පරීක්ෂක කාර්යාලය වෙතත්, මුලතිව් නයාරු කලපු ප්‍රදේශයේ සහ පුදුමාතලන් මුහුදු ප්‍රදේශයේ නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් හත් දෙනා සහ ඩිංගි යාත්‍රා පහ ඉදිරි නීතීමය කටයුතු සඳහා මුලතිව් ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙතත් භාර දීමට කටයුතු කෙරිණි.