ෆොක්ස් හිල් තරග බිම ලේ විලක් වෙයි නරඹන්නෝ 7ක් මරුට

දියතලාව නරියාකන්දේ මෝටර් රථ ධාවන පථයේදී (21) පැවැති ‘ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය අතරතුර මෝටර් රථයක් නරඹන්නන් දෙසට විසිවී යෑමෙන් පුද්ගලයන් 7 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් පුද්ගලයන් විශාල පිරිසක් තුවාල ලැබූහ.

ධාවන පථයේදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වූ අතර, ඒ සමඟ තරගාවලිය අවලංගු කිරීමට තරග සංවිධායකයෝ පියවර ගත්හ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ තරගාවලිය වන ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලිය පැවැත්වූයේ වසර 5කට පමණ පසුව බැවින් එය නැරැඹීමට විශාල නරඹන්නන් පිරිසක් පැමිණ සිටියහ.

මීට වසර 5කට පෙර එනම්, 2019 වසරේ හරියටම අප්‍රේල් මස 21 වැනිදා අවසන් වරට තරගාවලිය පැවැති දිනයේදී ද පාස්කු ප්‍රහාරය එල්ල වූ බැවින් තරගාවලිය අතරමැද අවලංගු කිරීමට තරග සංවිධායකයන්ට සිදු විය. අනතුරුව යළි තරගාවලිය පැවැති ඊයේ (21) සිදු වූ බිහිසුණු අනතුර හේතුවෙන් නැවත තරගාවලිය අතරමැද නැවැත්වීමට සිදුවීම දෛවෝපගත සිදුවීමකි.

අනතුර සිදුවූයේ පැයට කිලෝමීටර් 160කට අධික වේගවත් 18 වැනි තරග ඉසව්ව වන අශ්වබල 1500 කාණ්ඩය යටතේ පැවැති ෆෝර්ඩ් ලේසර් මැස්ඩා තරග ඉසව්වේදීය. එම තරගයේ තුන්වැනි වටයේදී තරගකරුවන් වන රජිත උළුවිට සහ ඩිලාන් අධිකාරි විසින් පදවනු ලැබූ මෝටර රථ එකිනෙක ගැටීමෙන් පසු රජිත උළුවිට විසින් ධාවනය කළ මෝටර් රථය ඒ මොහොතේ ධාවන පථය අසල සේවයට යොදවා සිටි තරග අධීක්ෂකවරු දෙදෙනකු ද යටකරමින් අධික වේගයෙන් නරඹන්නන් දෙසට විසි වී ගියේය. අනතුර සිදුවීමත් සමඟ එම ස්ථානයේ ජනතාව විලාප දීමට පටන් ගත් අතර විශාල නොසන්සුන්තාවක් ද පැතිරී ගියේය.

කෙසේ වෙතත් තරගය අතරතුර කිසිවකුට ධාවන පථයට පිවිසීමට අවසර නැති බැවින් ගිලන් රථ සහ ආරක්ෂක අංශ එම ස්ථානයට පැමිණියේ තත්පර 15කට පමණ පසු තරග සංවිධායකවරුන් ‘රතු ධජය’ ඔසවා තරගය නැවැත්වීමට පියවර ගැනීමෙන් පසුවය. අනතුරුව තරග සංවිධායකවරු සහ රාජකාරිය සඳහා යොදවා සිටි දියතලාව හමුදා කඳවුරේ කණ්ඩායම් රැසක් වහාම එම ස්ථානයට පැමිණ තුවාලකරුවන් රෝහල්ගත කිරීමට පියවර ගත්හ.

ශ්‍රී ලංකාවේ මෝටර් රථ තරග පිළිබඳ පාලනාධිකාරිය වන ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ස්පෝට් සංගමයේ සහ දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ සංවිධායකත්වයෙන් පැවැති ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලියට මෝටර් රථ සහ යතුරුපැදි තරග ඉසව් 25ක් සඳහා තරගකරුවන් 200කට අධික පිරිසක් සහභාගි වූ අතර, මෙරට මෝටර් රථ තරග ඉතිහාසයේ මෙවැනි බිහිසුණු අනතුරක් සිදු වූයේ පළමු වරටය. නරඹන්නන්ගේ ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් පියවර රැසක් ගෙන තිබුණ ද මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ධාවන පථය සම්පූර්ණයෙන්ම දුහුවිල්ලෙන් පිරී පැවැතීම මෝටර් රථ දෙක අනතුරට ලක්වීමට හේතු විය. තරගයෙන් තරගයට ජල බවුසර මගින් ධාවන පථය පුරා ජලය විසුරුවීමට කටයුතු කරනු ලැබුව ද අධික දුහුවිල්ල පාලනය කිරීමට එය ප්‍රමාණවත් නොවීය.

තුවාලකරුවන් 19 දෙනාගෙන් හතරකගේ තත්ත්වය බරපතළයි -බරපතළ සිවුදෙනාම බදුල්ල මහ රෝහලට – රියැදුරන් දෙදෙනාත් ඒ අතර

ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලියේ ඊයේ සිදුවූ මාරාන්තික අනතුරින් පුද්ගලයන් 7 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බවත්, තවත් පුද්ගලයන් 19 දෙනකු තුවාල ලැබූ බවත් දියතලාව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි රංජිත් අමරකෝන් කීවේය. තුවාලකරුවන් අතර අනතුරට ලක්වූ මෝටරථ දෙකේ රියැදුරන් දෙදෙනාද සිටිති.

වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය අධිකාරීවරයා මෙලෙසද කීවේය.

“ඊයේ දහවල් තරගාවලිය අතරතුර එම අනතුර සිදුවී තිබුණා. අනතුරින් මිය ගිය අය අතර 10 හැවිරිදි දැරියක් ද සිටිනවා. තුවාල ලැබූ අය අතරින් පුද්ගලයන් සිවුදෙනකුගේ තත්ත්වය බරපතළයි. ඔවුන් බදුල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. මිය ගිය දැරිය දියතලාව, ඩයරබා ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. ඇගේ මිත්තණියත් මේ අනතුරින් මිය ගිහින්.

ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලැබූ 26 දෙනෙක් රෝහල්ගත කළා. එයින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ගැහැනු දරුවාට අමතරව ඩයරබා ප්‍රදේශයේ තවත් පදිංචිකරුවෙක් අනතුරින් මිය ගියා. ඊට අමතරව ඇඹිලිපිටියේ පුද්ගලයෙක්, මාතර පුද්ගලයන් දෙදෙනෙක් මිය ගිය අය අතර සිටිනවා. අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් පැමිණි පුද්ගලයකුත්, තරගයේ අධික්ෂණ කටයුතුවල නිරතව සිටි නිලධාරියකුත් ඒ අතර සිටිනවා.’’