හරිත සරසවියේ පොල් ගසක් යටින් අභිරහස් මළ සිරුරක් හමුවෙයි

හෝමාගම පිටිපන පිහිටි හරිත සරසවියේ දෙවන අදියරෙහි ඉදි කිරීම් භූමියේ පොල් ගසක් යට තිබී අභිරහස් ලෙස මිය ගිය පුද්ගල මල සිරුරක් අද (22) අළුයම හමු වූ බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි

මෙලෙස මියගොස් ඇත්තේ එම ඉදි කිරීම් භූමියේ කොන්ත්‍රාත් කටයුතු සිදු කරනු ලබන සමාගමේ කම්බි බදින්නෙකු ලෙස සේවය කරමින් සිටි නිකපොත වැල්ලවාය පාර කැල්බන් ජනපදයෙහි පදිංචිකරුවකු වන රත්නායක ලියනගේ සමන් කුමාර නමැති 31 හැවිරිදි පුද්ගලයෙකි

මෙලෙස මියගොස් සිටි පුද්ගලයා අලුත් අවුරුදු නිවාඩු කා⁣ලයෙන් පසු ⁣දින කිහිපයකට පෙර රැකියාව සදහා එම ස්ථානයට පැමිණ ඇති බවත් එම පුද්ගලයාට දවසේ වියදම සදහා කොන්ත්‍රාත් සමාගම විසින් ලබා දෙනු ලබන රුපියල් දහසක මුදලින් රුපියල් තුන් සියයක් වැය කර කෑම පාර්සලයක් මිලදී ගෙන ඉතිරි මුදලින් නීති විරෝධී මත්පැන් මිලදී ගෙන පානය කර ඇති බවට සිදුකල මූලික විමර්ශණයේදී අනාවරණය වී ඇතැයි ද පොලිසිය පවසයි

⁣රාත්‍රී කාලයේදී පොල් ගසකට නැගීමට ගොස් ගසෙන් ඇද වැටීමෙන් මෙම මරණය සිදු වූවාද නැතහොත් ස්වාභාවික මරණයක්ද ඝාතනයක්ද යන කරුණු ඔස්සේ විමර්ශන කටයුතු ආරම්භ කල බවත් මියගිය පුද්ගලයා දැඩි ලෙස මත්පැන් පානයට ලොල් ව සිටි පුද්ගලයකු බවත් හෝමාගම මූලස්ථාන පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය

සිද්ධිය වූ ස්ථානයට පැමිණි හෝමාගම මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ කටයුතු සිදු කරයි