“ සහල් බෙදීම ජනාධිපතිවරණ ගුංඩුවක් නෙමෙයි “ – ඇමති ප්‍රසන්න

රට පුරා දිස්ත්‍රික්ක 18ක අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් නොමිලේ සහල් ලබා දීමේ ආණ්ඩුවේ ව්‍යාපෘතිය තුල කිසිදු දේශපාලන අරමුණක් නොමැති බවත් එය ඡන්ද ගුංඩුවක් නොවන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි.

ඔහු අවධාරණය කරන්නේ සහල් බෙදන්නේ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් නොවන බවයි.

ආණ්ඩුවෙන් ජනතාවට යමක් බෙදුවොත් එය ඡන්ද ගුංඩුවක් ලෙස හදුන්වන, විපක්ෂය යමක් බෙදුවොත් එය ජනතා සේවය ලෙස හදුන්වන විපක්ෂයේ ගොන් තියරිවලට නොරැවටෙන ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇමති ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් අවධාරණය කරයි.

ඇමති ප්‍රසන්න රණතුංග මේ බව සදහන් කලේ (21) ගම්පහ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් වලට සහල් බෙදා දීමේ වැඩසටහන්වලට එක් වෙමිනි. කැලණිය, බියගම, මහර, කටාන හා දිවුලපිටිය යන ආසන වල

මෙම සහල් බෙදා දීම ඊයේ සිදු කෙරිණ. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව දිවයින පුරා

දිස්ත්‍රික්ක 18ක අඩු ආදායම්ලාභී පවුල් 2,511,840ක් වෙනුවෙන් සහල් බෙදා දීම ඊයේ ආරම්භ කෙරිණ. මේ වෙනුවෙන් රජය වැය කර ඇති මුදල රුපියල් 4,676,474,300කි.

මේ යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 2,41,623කට සහල් කිලෝ 10 බැගින් ඉදිරි මාස දෙක තුල ලැබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග කීවේය. ඒ වෙනුවෙන් වැය කරන මුදල රුපියල් 459,083,700කි.

මෙම ව්‍යාපෘතිය යටතේ වැඩිම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාවකට සහල් සහනාධාරිය හිමි වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේයි. එම පවුල් සංඛ්‍යාව 283,013කි. වැය කෙරෙන මුදල රුපියල් මිලියන 537කට අධිකය. ඉන් අනතුරුව වැඩිම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාවක් ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙයි. එම පවුල් සංඛ්‍යාව 2,43.892කි. මිලියන 400කට අධික මුදලක් ඒ සදහා වැය කර තිබේ.

අනුරාධපුර, බදුල්ල, කොළඹ, ගාල්ල, ගම්පහ, හම්බන්තොට, කලුතර, නුවර, කුරුණෑගල. මන්නාරම, මාතලේ, මොණරාගල, මුලතිව්, පොළොන්නරුව, පුත්තලම, රත්නපුර, ත්‍රිකුණාමලය හා වව්නියාව යන දිස්ත්‍රික්ක වල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.