පැවති රජය හා වත්මන් රජය පාස්කු ප්‍රහාරයේ සත්‍යය සැඟවීමට දිගින් දිගටම ක්‍රියාත්මක​ වෙනවා – කාදිනල් හිමිපාණන්

පැවති රජය හා වත්මන් රජය දිගින් දිගටම පාස්කු ප්‍රහාරයේ සත්‍යය යටපත් කිරීමට උත්සාහ ගන්නා බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සහ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවල නිර්දේශ වූ කරුණු ක්‍රියාත්මක කිරීම පැවරුණේ 2019 වසරේදී ජනාධිපති ධුරයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ වෙත නමුත්, එම නිර්දේ​ශ ක්‍රියාත්මක කිරීමට ඔහුට දුශ්කරතා ඇති බව ඔහු ජනාධිපති ධූරයට පත් වීමෙන් පසු දිනම තමාට දුරකථනයෙන් පැවසූ බවයි කාදිනල් හිමිපාණන් (21) ප්‍රහාරයට වසර 5ක් සපිරීම නිමිත්තෙන් පැවති වැඩසටහනේදී හෙළිදරව් කළේ.

එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට යාමෙන් ගෝඨාභය රාජපක්ෂට හිතවත් ඇතැම් සංවිධානවල නායකයින් අත්අඩංගුවට ගැනීමට හා ඔවුන්ගේ සංවිධාන තහනම් කිරීමට සිදුවන බවද, එබැවින් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ඔහු​ට නොහැකි බව ගෝඨාභය රාජපක්ෂ තමාට එදින දුරකථනයෙන් පැවසූ බව කාදිනල් හිමිපාණන් සඳහන් ක​ළා.

එලෙසම ප්‍රහාරය පිළිබඳව ඒ වන විට කරගෙන ගිය විමර්ශන මෙහෙයවූ ඇතැම් නිලධාරීන් තනතුරු වලින් ඉවත් කර ඈත ප්‍රදේශවලට මරුකර යැවීමෙන්ද, ඉන් ප්‍රධානියෙකු සිරගත කිරීමෙන්ද, ඒ සඳහා ඔහු​ට හිතවත් නිලධාරීන් පමණක් පත් කිරීමෙන්ද, එම විමර්ශන කඩාකප්පල් කිරීමට ගෝඨාභය රාජපක්ෂ ගත් පියවර කණගාටුදායක බවයි කාදිනල් හිමිපාණන් පෙන්වා දුන්නේ.

ඒ අනුව එක දෙයක් පිළිබඳ බලවත් සැකයක් ඇති වන බවද, එනම් ප්‍රහාර​යේ සත්‍ය යටපත් කිරීමට පැවති රජය හා වත්මන් රජය දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් ඊට සම්බන්ධ ඇතැම් පුද්ගලයින් හා ඇතැම් ආයතන ආරක්ෂා කිරීමට ක්‍රියාකරන බවද, ඔවුන් ඊට සම්බන්ධ නැතිනම් ප්‍රහාරය පිළිබඳ සත්‍ය ​තොරතුරු හෙළිවීම ඔවුන්ට ප්‍රශ්නයක් නොවනු ඇති බවද කාදිනල් හිමිපානන් ප්‍රකාශ කළා.

මෙම ප්‍රහාරය පිටුපස අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදීන් පිරිසක් ක්‍රියාකළ බව ඇත්ත වුවත්, ඔවුන් පිටුපස තවත් බලවේග සිටි බවට සාක්ෂි මතුවී තිබියදීත් ඒ පිළිබඳව හරියාකාර විමර්ශනයක් සිදු නොවීම තුළ සහ සාක්ෂි යටපත් කිරීමට ඕනෑකමින් කටයුතු කිරීම තුළ, වත්මන් රජයටද මෙම ප්‍රහාරය පිළිබද සත්‍ය සඟවා තැබීමට වුමණාවක් ඇති බවට නිගමනයකට එළඹිමට සිදුවන බවයි කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් අවධාරණය කළේ.