බදුලු බසයට ඇහැළියගොඩදී ගල් ප්‍රහාරයක්

-මඟී ජීවිත 64ක් බේරා සම්මානත් ලැබූ බදුලු ඩිපෝවේ හොඳම රියැදුරුට තුවාල

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝවේ බස් රථයකට ඇහැළියගොඩ ප්‍රදේශයේදී එල්ල වූ ගල් ප්‍රහාරයකින් බස් රිය පැදවූ ‘බදුල්ල ඩිපෝවේ හොඳම රියැදුරු’ සම්මානයෙන් පිදුම් ලැබූ රියැදුරුවරයා බරපතළ තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළත් කළ බව ඇහැළියගොඩ පොලිසිය පවසයි.

මෙසේ තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ බදුල්ල, කැන්දගොල්ල, කොල්ලුවත්ත වෑකඩ පදිංචි ඩී.එම්. ප්‍රියන්ත කුමාර (37) හැවිරිදි අයෙකි. ධාවනය වෙමින් තිබූ බස් රියට පසුගිය 19 දා එල්ල වූ ගල්පහර හේතුවෙන් රියැදුරු අසුන ඉදිරිපිට වීදුරුව කැඩී, ගල් පහර මොහුගේ මුහුණට වැදීමෙන් මොහුගේ නිකටට සහ දත් තුනකට තුවාල සිදු ව ඇති බවත්, සැත්කමකට භාජනය කර නිකට ප්‍රදේශයට මැහුම් 10ක් දැමූ බවද රෝහල් ප්‍රකාශයෙක් කීය.

ශ්‍රී ලංගම 66 වැනි සංවත්සරයේදී ශ්‍රී ලංගම හොඳම රියැදුරු ලෙස බදුල්ල ප්‍රාදේශිකයේ සම්මානයෙන්ද පිදුම් ලැබූ මොහු 2023‍ ජනවාරි 30 දින බදුල්ල සිට කොළඹ බලා බසය ධාවනය කරමින් සිටියදී හපුතලේ බෙරගල පල්ලමේදී බස්රථයේ හදිසි තිරිංග පද්ධතියේ දෝෂයක් හේතුවෙන් බස් රිය ප්‍රපාතයකට පෙරළී යෑමට ඉඩ නොදී බසය වේල්ලකට අල්ලා නවතා, මඟී ජීවිත 64ක් සමඟ බස් රිය නිරුපද්‍රිතව බේරාගත් ගත් දක්ෂ රියැදුරෙකි.

ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝ කළමනාකාර ඩබ්ලිව් ඇම්.ඩී.සී. වීරවන්නි සඳහන් කළේ මේ ම්ලේච්ඡ ප්‍රහාරය හෙළා දකින බවත්, මේ සම්බන්ධයෙන් ඇහැළියගොඩ පොලිසියට පැමිණිලි කර ඇති අතර, මීට අමතරව ශ්‍රී ලංගම අවිස්සාවේල්ල ඩිපෝවේ කාර්යාලය මඟින් විමර්ශනයක් සිදු කරන බවයි.

කෙසේ හෝ ගල්ප්‍රහාරය එල්ල වීමෙන් අනතුරුව ධාවනය වෙමින් තිබූ බස් රථය කිසිදු අනතුරකට ලක් නොකර මඟී ජීවිත ආරක්ෂා කරමින් මඟී ජීවිත බේරාගත් රියැදුරු ප්‍රියන්ත කුමාර සම්බන්ධයෙන් ආඩම්බර වෙන බවද හෙතෙම කීය.