විල්පොත පාසල් දරුවෝ කුඹුරට බසිති

මෙවර මහ කන්නයේ වර්ෂාවෙන් පසුව ඇරඹෙන වී වගාව පිළිබඳ සහ කෘෂි කර්මාන්තය පිළිබඳ සිසුන්ට ප්‍රායෝගික අත්දැකීම් ලබා දීමට විල්පත බණ්ඩාරනායක කුසලතා පාසල පසුගිය 19 දා සියඹලන්කොටුව වෙල්යායේදී ගොයම් සිටුවීමේ වැඩසටහනක් පැවැත්වීය. සෑම නිවාඩු දිනයකදීම අලුත් ප්‍රායෝගික පුහුණුවක් ආරම්භ කරන විල්පොත බණ්ඩාරනායක විද්‍යාලය ඒ අනුව මෙවර සියඹලංකොටුව වැවෙන් නිකුත් කරන දියවරෙන් පෝෂණය ලබන කුඹුරු අක්කරයක සාම්ප්‍රදායික ක්‍රමයට ගොයම් සිටුවීම ආරම්භ කෙරිණි.

අධ්‍යාපනයේ නිසි ඵල ලබන්නට නිවාඩු දිනවල ප්‍රායෝගික ක්‍රියාවල නිරත කරවීම විද්‍යාලයේ මූලික අරමුණ බව විද්‍යාලයේ විදුහල්පති මංජුල සමරජීව මෙහි දී කීය. කසළ එකතු කර අලෙවි කිරීමෙන් ලැබු ආදායමෙන් පාසලට ත්‍රිරෝද රථයක් මිලදී ගැනීමෙන් පසුව රටේ ම අවධානයට ලක් වුණු විල්පත බණ්ඩාරනායක විද්‍යාලය තුළින් අධ්‍යාපන ක්ෂේත්‍රයට ආදර්ශය වැඩසටහන් ගණනාවක් එළිදැක්විණි.

ඒ අතර පාසල් ගෙවත්ත වගාකර ලැබුණු ආදායමෙන් ස්මාර්ට් පන්ති කාමර ඉදිකිරීම, අබලි වශයෙන් ඉවත් කරන වානේ අල්මාරි අලුත්වැඩියා කර පන්ති කාමරවලට යොදා ගැනීම, අධ්‍යාපන කාර්යාල වල ඉවත් කිරීමට ඇති වාහන අලුත් වැඩියා කිරීමේ පුහුණුව දරුවන්ට ලබාදීම, වඩු කර්මාන්ත පුහුණු ඒකකයක් ආරම්භ කිරීම, සබන් හැදීම, සපත්තු මැසීම පුහුණු කිරීම ඒ අතර වේ.

ඒ නිසාම ගෙවුණු වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් පාසල් 1100ක පමණ විදුහල්පතිවරු සහ ගුරුවරු මෙම විද්‍යාලය දැනුම සහ කුසලතා දෙකම ඉතාමත් උසස් අයුරින් ලබාදෙන ආකාරය පිළිබඳව අධ්‍යයනය කිරීමට මේ වන විටත් පැමිණ තිබේ .