විජයදාස පත්කිරීම පිළිගන්නේ නැහැ – ලසන්ත කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ පත්කිරීම පිළි නොගන්නා බව එම පක්ෂයේ මෛත්‍රී විරෝධී කණ්ඩායම නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න (21) ප්‍රකාශ කළේය.

පක්ෂයේ සාමාජිකත්වය පවා නොමැති පුද්ගලයකු වැඩබලන සභාපතිවරයා ලෙස පත්කිරීමට කිසිඳු නීතිමය හැකියාවක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඇතිවූ අර්බුදකාරී වාතාවරණය හමුවේ මැතිවරණ කොමිෂන් සභාව තුළ ලියාපදිංචි පිරිසගේ සහභාගිත්වයෙන් පසුගිය දිනක විධායක සභාව රැස්වූ බවත් මේ වනවිට පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වන්නේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා බවත් අලගියවන්න පැවැසීය.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පාර්ශ්වය විසින් වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පත්කර ගැනීමට එරෙහිව මාධ්‍ය සාකච්ඡාවක්(21) කොළඹදී පවත්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මෙසේ ද පැවැසීය.

‘අපි අවුරුදු එකහමාරක් දෙකක් තිස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තරව දීර්ඝකාලීනව මතවාද තිබුණා. නායකත්වය සමඟ ගැටුණා. එහිදී අපි දැනගත්තා පක්ෂයේ නායකයා පෞද්ගලිකත්වය වෙනුවෙන් ඕනෑම දෙයක් පාවා දෙන පුද්ගලයෙක් කියලා. ඒකට හොඳම උදාහරණය තමයි විශේෂයෙන්ම දින 52 ආණ්ඩුවේ දී අගමැතිවරයා පත් කරමින් එතුමා උත්සාහ කළා, පොහොට්ටුවේ ඡන්ද ටික ගන්න පුළුවන් ද ඒ ඡන්ද ටික අරන් තමන්ට ජනාධිපති වෙන්න අත දුන්න රනිල් වික්‍රමසිංහ ඉවත දමා මහින්ද රාජපක්ෂ පත්කිරීම තමයි හොඳම උදාහරණය. මේක දිහා අමුතුවෙන් බලන්න කිසිම අවශ්‍යතාවක් අපට නැහැ. ඒ අනුව අපි දැනගත්තා කවදා හෝ බණ්ඩාරනායකවරුන් ආරම්භ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, පංච මහා බලවේගයන් ප්‍රමුඛව ආරම්භ කළ පක්ෂයත් කවදා හෝ පාවා දෙන බවට. අපි ඒ පාවාදීමට විරුද්ධව තමයි අපි පක්ෂය තුළ අභ්‍යන්තර වශයෙන් සටන් කළේ. ඒ වගේම මෛත්‍රිපාල සිරිසේනගේ මෙම පාවාදීම් සිදුකරන ගමන් අපට කරපු චෝදනාව තමයි අපි කණ්ඩායම රජය නියෝජනය කරන බව සඳහන් කිරීම. රජය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි පැයක්වත්, ජනාධිපති ධුරය ගන්න හරි වෙන දෙයක් ගන්න හරි පක්ෂය හැරදා ගිය අය නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන විශාල පිරිසක් සිටිනවා. නමුත් පක්ෂය නියෝජනය නොකරන, පක්ෂයේ සාමාජිකත්වයවත් නැති කෙනෙක් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස නීතිවිරෝධි ආකාරයෙන් පත්කර තිබෙනවා. මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව අධිකරණ නියෝගයක් ලබා දී තිබියදී එතුමාම සහභාගි වී අද ඒ නීතිවිරෝධි කටයුත්ත සිදුකර තිබෙනවා. මේ පිළිබඳව කරුණු රැසක් තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පිරිසකට රජය නියෝජනය කිරීම සුදුසු නැහැ. තවත් පිරිසකට එය සුදුසුයි. වෙනත් තැනක සිටින කෙනෙක් අරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත්කිරීමත් එතුමාගේ දෙබිඩි පිළිවෙතේ එක් අවස්ථාවක්. ඒ වගේම ව්‍යවස්ථාව කඩපු කෙනෙකුට පක්ෂ ව්‍යවස්ථාව කඩනවා කියන එක අමුතු දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම අපේ රටේ ව්‍යවස්ථාව කඩකරපු ජනාධිපතිවරුත් ඉන්නවා. ඒවගේ කෙනෙකුට පක්ෂ ව්‍යවස්ථාව කඩනවා කියන එක අමුතු දෙයක් නෙවෙයි. ඒ අනුව එතුමා දිගින් දිගටම පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කළා.

පසුගිය වකවානුවලදී අවස්ථා ගණනාවක පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කළා. ඒ හැම අවස්ථාවකදීම මෛත්‍රිපාල සිරිසේන උත්සාහ කළේ තමන්ට හිමි බලය වැඩිකර ගැනීමටයි. 2018 දී පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කළේ පක්ෂයේ උන්නතිය වෙනුවෙන් නෙවෙයි, තමන්ට අවශ්‍ය පරිදි දේශපාලන මණ්ඩලයක් ඇතිකර ගැනීමට හා බලය වැඩිකර ගැනීමටයි. ඒ වගේම පක්ෂ ව්‍යවස්ථාව තුළ තිබුණේ නැහැ, පක්ෂයේ නිලධාරියෙක් ඉවත් කිරීමේ හැකියාව. ඒ වෙනුවෙන් 2022 දී පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කළා. සභාපතිවරයාගේ අභිමතය පරිදි නිලධාරීන් ඉවත් කිරීම වෙනුවෙන් පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කළා. අපි පස් දෙනෙක් ඒකට විරුද්ධ වුණා. ඒ බලය ලබාගෙන කළේ අපිව ඉවත් කිරීමයි. ඉන්පසුව නිමල් සිරිපාල ද සිල්වා අධිකරණයට ගියා. ඊට අදාළ නඩු තීන්දුව දෙන්න පාදක වූ කරුණු ගණනාවක් තිබෙනවා. සිවිල් අභියාචනාධිකරණය ලබාදුන් නඩු තීන්දුව අනුව ගැටලු නැති අවස්ථාවකවත් මේ ආකාරයට විධායක සභාව කැඳවීමේ හැකියාව නැහැ.

ලේකම්වරයා‌ට මොනම ආකාරයටවත් දේශපාලන මණ්ඩලය හෝ විධායක සභාව රැස්කිරීමේ හැකියාවක් නැහැ. මේ වනවිටත් සිවිල් අභියාචනාධිකරණයෙන් ඊට අදාළ නඩු තීන්දුව ලබා දී තිබෙනවා. මෑතකදී අපි තනතුරුවලින් නැවත වතාවක් ඉවත් කළා. ඒ අවස්ථාවේදීත් අධිකරණය විසින් එය අත්හිටුවීමට පියවර ගත්තා.

ඊයේ දිනයේදී දේශපාලන මණ්ඩල රැස්වීමක් පවත්වන බවට නිමල් සිරිපාල ද සිල්වාටත් ෆයිසර් මුස්තාපාටත් ආරාධනාවක් ලැබුණා. අධිකරණය ලබා දී තිබූ තීන්දුව අනුව අපි ඒ රැස්වීමට ගියා. ඒ රැස්වීමේ ඉන්නේ වෙනත් අය. මැතිවරණ කොමිෂන් සභාවේ නම් තිබෙන අය නෙවෙයි ඒ රැස්වීමේ හිටියේ. 16 දෙනෙක් හිටියා. 15දෙනයි දේශපාලන මණ්ඩල සාමාජිකයින් සිටින්නේ. ඒ අනුව අපි ඊයේ ඒ රැස්වීමට ගිහින් විරෝධතාව ප්‍රකාශ කළා. එම පැවැති දේශපාලන මණ්ඩල රැස්වීමේදී හෝ විධායක සභාවේදී වැඩබලන සභාපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්න පුළුවන් වුණේ නැහැ. අපේ පක්ෂයේ ව්‍යවස්ථාව අනුව නීත්‍යනුකූලව සාමාන්‍ය පරිසරයක් යටතේ කැඳවනවා නම් මධ්‍යම කාරක සභාව හා දේශපාලන මණ්ඩලය අනුමත කළ යුතුයි. ඒ වගේම න්‍යාය පත්‍රයත් අනුමත කරගත යුතුයි. මේ රැස්වීම කැඳවීමට පුළුවන්කම තිබෙන්නේ පසුගියදා පැවැති දේශපාලන මණ්ඩල රැස්වීම තුළ අපට ඉවත් වෙන්න කිව්වා. අප සම්බන්ධයෙන් වන තීන්දු දිසා අධිකරණය හා අධිකරණය විසින් ලේකම්වරයාටත් යවා තිබෙනවා. නීතිඥයෙක් ලෙස එය දැනගෙනත් පසුගියදා පැවැති දේශපාලන මණ්ඩල රැස්වීමෙන් අපිව ඉවත් කිරීමට වැඩබලන ලේකම්වරයා උත්සාහ කළා. නමුත් අපි ඉවත් වුණේ නැහැ. මෙවැනි වාතාවරණයක් තුළ ඊයේ රැස්වූ විධායක සභා රැස්වීම නීත්‍යනුකූල නැහැ. පසුගියදා පැවැති දේශපාලන මණ්ඩල රැස්වීමත් නීත්‍යනුකූල නැහැ. එහි තීරණත් නීත්‍යනුකූල නැහැ.

පක්ෂයට වෙන්න යන මේ තත්ත්වය ගැනයි චන්ද්‍රිකා බණ්ඩාරනායක අධිකරණයට ගියේ. ඒ අනුව අධිකරණය තීන්දුවක් දුන්නා. පක්ෂයේ සභාපතිවරයාගේ කටයුතු අධිකරණය විසින් වාරණ නියෝගයක් ලබා දී තිබෙනවා. ඒ අනුවයි පසුගියදාක අපි රැස්වී දේශපාලන මණ්ඩලය කැඳවා තීන්දු ගත්තේ. අදාළ තීන්දු මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දුන්නා. ඒ වගේම වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර ගත්තා. ඒ වෙනුවෙන් කවුරුත් විරුද්ධව අධිකරණයට ගියේ නැහැ. අද වෙනකොට පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ නිමල් සිරිපාල ද සිල්වායි.

මෙවැනි තත්ත්වයක් තුළ අපි කනගාටු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන විශාල පිරිසක් සිටිනවා. ඒ අයගෙන් අපි සමාව ඉල්ලා සිටිනවා. මේ පක්ෂය මේ තරම් පහතට ඇදදැමීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා. මීට එරෙහිව විශාල පිරිසක් ඒකරාශි වී සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට අපි සාධාරණය ඉටුකරනවා.’

මෙම මාධ්‍ය සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රා දුමින්ද දිසානායක හා පක්ෂයේ ප්‍රචාරක ලේකම් වීරකුමාර දිසානායක ද සහභාගි වූහ.