නිවසකට කඩා වැදී එහි නිදාගෙන සිටි පුද්ගලයකුට යකඩ පොලුවලින් පහර දී බරපතළ තුවාල සිදුකොට ඇති බව කියන සිද්ධියකට අදාළ සැකකරුවන් දෙදෙනෙකුට ඇප නියම කළ නමුත් ඔවුන් දෙදෙනා හෙරොයින් ජාවාරම්කරුවන් බවට පොලිසිය වෙනම පැමිණිලි ඉදිරිපත් කිරීම හේතුවෙන් අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න (19) දහවල් එම දෙදෙනා මේ මස 30 වනදා දක්වා රක්ෂිත භාරයේ රඳවා තැබීමට නියෝග කළේය.
වේයන්ගොඩ කටුවස්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. කටුවස්ගොඩ ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් කඩා වැදී එහි නිදාගෙන සිටි පුද්ගලයෙකුට යකඩ පොලුවලින් පහර දී බරපතළ තුවාල සිදු කොට ඇති බව කියන සිද්ධියක් සම්බන්ධව වේයන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වා සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණ.
වේයන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රේමරත්න කරුණු දක්වමින් සැකකරුවන් දෙදෙනා තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමඟ බලහත්කාරයෙන් නිවසකට කඩා වැදී එහි නිදාගෙන සිටි පුද්ගලයෙකුට යකඩ පොලුවලින් පහර දී බරපතළ තුවාල සිදු කොට ඇති බව කියා සිටියේය. ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා ඇති එම පුද්ගලයා අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටින බවත් පොලිස් පරීක්ෂකවරයා කීය.
ප්‍රහාරයෙන් පසුව හතර දෙනාම පැන ගොස් සිටියදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් මොවුන් දෙදෙනා හෙරොයින් ජාවාරම්කරුවන් බවත් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දෙදෙනා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් දෙකකට වැඩි ප්‍රමාණයකින් යුතු පැකට් දෙකක් ද අත්අඩංගුවට ගත් බවත් පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේය. සැඟවී සිටින අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යන බව ද පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේය.
පොලිසියේ කරුණු දැක්වීම්වලින් අනතුරුව පුද්ගලයෙකුට පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධව සැකකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප නියම කළ නමුත් හෙරොයින් ළඟ තබා ගෙන සිටීම සම්බන්ධව එසේ රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියෝග කෙරිණි. නැවත කැඳවීම මේ මස 30 වැනිදාට කල් තැබිණ. වේයන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රේමරත්න පැමිණිල්ල මෙහෙයවිය