පැය 24ක් ඇතුළත චීන ප්‍රහාරක යානා 10ක් ගුවන් සීමාව උල්ලංඝනය කළ බවට තායිවානයෙන් චෝදනා

චීන හමුදා ගුවන් යානා 10ක් සහ නාවික ප්‍රහාරක යාත්‍රා 7ක් පෙරේදා සිට පැය 24ක කාලයක් පුරා තායිවාන අවට සැරි සැරූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි වාර්තා වේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ චීනයට අයත් ඔත්තු සැපයීමේ බැලූනයක් ද තායිවාන අහස් සීමාවට පිවිසි බව එරට ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර ඇති බවය.තායිවාන ආරක්ෂක අමාත්‍යාංශයට අනුව එම ගුවන් යානා චීන මහජන විමුක්ති හමුදාවට අයත් වන අතර, ඉන් ගුවන් යානා දෙකක් තායිවාන සමුද්‍ර සන්ධිය ගුවන් සීමාවට ඇතුළු වී තිබේ. තවත් ගුවන් යානා 4ක් තායිවානයට දකුණින් ගුවන් සීමාව උල්ලංඝනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

චීන ගුවන් යානා සහ ප්‍රහාරක යාත්‍රා හඳුනා ගැනීමෙන් පසු තායිවාන හමුදාවට අයත් ගුවන් යානා සහ නාවික යාත්‍රා යෙදවීමටත්, මිසයිල ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක කිරීමටත් එරට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ මාසයේදී පමණක් චීන හමුදාවට අයත් ගුවන් යානා 57ක් සහ නාවික යාත්‍රා 57ක් සිය ගුවන් සීමාවේදී සහ මුහුදු සීමාවේදී හඳුනාගත් බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර ඇතැයි ද වාර්තා වේ.