පාලිත කියන්නේ මිනිසුන්ට ආදරෙන් සලකන මිහිපිට දෙවියෙක් ඒක තමයි ඇත්ත

ඔය දෙවියා හින්දා තමයි අපි මේ වැටිලා ඉන්න මේ ගේ හම්බ වුණේ

දෑස් නොපෙනෙන සුනිල් හැඬූ කඳුළින් කියයි

හදිසියේ මගේ ඇස් දෙක අන්ධ වුණා.මට උන් හිටි තැන් පවා නැති වුණා. නැතිවෙලා මම බිරියගේ ගෙදර ගියා.මම පුංචි පැළක් හදාගෙන ජීවත් වුණා.ඒ පුංචි පැළ තිබ්බ කන්දත් නාය ගියා. මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලියුම් සීයක් විතර ඉදිරිපත් කළා.මට ජීවත් වෙන්න ඉඩම් කෑල්ලක් හම්බ වුණේ නෑ.පාලිත මහත්තයාට ගිහින් කිව්වා විතරයි.විනාඩි කීපයකින් මට පර්චස් දහයක් ලබා දුන්නා. ඒ දෙවියා හින්දා තමයි අද අපට වැටිලා ඉන්න ගෙයක් හම්බ වුණේයැයි දෑස් නොපෙනෙන සුනිල් ප්‍රේමසිරි (64) තිදරු පියා හැඬූ කඳුළින් පැවසීය.

මතුගම කඩවත පාරේ සිට සිය බිරිය එච්. ධම්මිකා සමඟ මියගිය පාලිතට අවසන් ගෞරව දැක්වීමට පැමිණ දැඩි ශෝකයෙන් අතීතය ආවර්ජනය කළේ ඔවු හඩා වැලපෙමින්ය.

පේමසිරි මෙසේද පැවසීය.

පාලිත හිටපු ඇමැති කෙනෙක් වුණත් අපි වගේ අසරණ මිනිසුන්ට හරිම ආදරෙන් කරුණාවෙන් කතා කර සලකන කෙනෙක්.ඔහු මිහිපිට සිටින දෙවි කෙනෙක්.අද එතුමා මේ නිවසේ සිටියා නම් මාවත් මගේ බිරියවත් දරුවන්වත් දකිනකොට එන්න එන්න කියලා කතා කර කන්න බොන්න දෙනවා.දුප්පත් මිනිස්සුන්ගේ බඩගින්න මැවිලා පේන උතුම් මහත්තයෙක්.

මට යට්ටෝවිට ප්‍රදේශයේ මහත්තයෙක් කීවා ගිහින් පාලිත මහත්තයා හම්බවෙන්න කියලා. ඔයාට කවදාකවත් සලකන්නේ නැතිව ඉන්නෙ නෑ කියලා.ඒ කාලේ වෙනකොට අපේ පොඩි දරුවාට මාස හතයි. මමයි බිරියයි දරු තුන්දෙනා සමඟ යටදොළවත්ත නගරයට ආවා. එනකොට මගේ බිරිය අර තියෙන්නේ මහත්තයගේ වාහනේ කිව්වාම ටිකක් සැර හින්ද මහත්තයා අපි ටිකක් බයෙන් තමයි මහත්තයාගේ වාහනේ ගාවට කිට්ටු වුණේ.

හැබැයි පාලිත අපට සැර කළේ නැහැ. බොහෝම කරුණාවෙන් ඔය ගොල්ලෝ මොකද කියලා ඇහුවා.ඒ වනවිට දවල් 12.00ට විතර ඇති.මම මහත්තයාට කිට්ටු වෙලා කීවා අපට ඉන්න තැනක් නෑ මහත්තයා.ජීවත් වෙන්න පැළක් හදාගෙන ඉන්න තැනක් දෙන්න කියලා. ඉඩම් කෑල්ලක්ද කියලා ඇහුවා.

පාලිත කියන්නේ දුප්පත් මිනිසුන්ගේ බඩගින්න මැවිලා පේන දෙවි කෙනෙක්. මහත්තයා මගේ බිරිය දිහාත් මගේ දිහාත් දරුවෝ දිහාත් හොඳට බැලුවා. මහත්තයාට තේරුණා අපි කාලා නෑ කියලා. හෝටලයකට හෝන් එක ගහලා සල්ලි දුන්නා. කාලා ඉවරවෙලා මේ පාරෙන් අපේ ගෙදරට එන්න කියා මහත්තයා ගියා. අපි මහත්තයාගේ ගෙදරට ගියාම ඇහුවා හොඳට කෑවද කියලා. පස්සේ අපිව වාහනේ දාගෙන කඩවත ප්‍රදේශයේ මහත්තයාගේ ඉඩම් තිබෙන තැනකට එක්කගෙන ගියා. ගිහින් ඉඩම් දෙකක් පෙන්නුවා.පෙන්නලා ඇහුවා ඕගොල්ලන්ට මේ ඉඩම් දෙකෙන් මොකක්ද ඕනෑ කියලා. උඹලට කියලා නෙමේ මහත්තයා කිව්වේ. ඕ ගොල්ලන්ට කියලා.උඩ පැත්තට අක්කර භාගෙකුත් පහළට පර්චස් දහයකුත් තිබ්බා.අපි පර්චස් දහය ගත්තා.මොකද අපට ලොකු ඉඩම් අරන් සුද්ද කරන්න විදිහක් නෑ. පාලිත මහත්තයා දුන්න ඉඩම හරි වාසනාවන්තයි.මහත්තයාගේ හිතවත් මහත්තයෙක් ඇවිත් අපේ පාලිත අයියා ලොකු පින්කමක් කරලා කියලා ගෙයින් බාගයක්ම හදලා දුන්නා. කාමර දෙකේ මාස හය හතක් ඉන්නකොට මතුගම ප්‍රදේශයේ මහත්තයෙක් පාලිත ගොඩක් ආදරේ කරන මහත්තයෙක් ගේ සම්පූර්ණයෙන්ම හදලා දුන්නා.

අවුරුදු 14කට පස්සේ මේ ගිය මාසේ සහන් සුදු මහත්තයාගේ දානේ දවසේ මට පාලිත මහත්තයා සින්නක්කරම ඉඩම ලියා දුන්නා. අද මට මහත්තයාගේ කටහඬක්වත් අහන්න නැහැ. මේ නම් අපි අතරින් වෙන් වුණේ දෙවි කෙනෙක්.මින් පස්සේ අපට කාගේ පිහිටක්ද ? කෝ අපේ දෙයියෝ. ? කෝ අපේ මහත්තයා. හොරු අරන් ගියාද? අද මම සතුටින් ජීවත් වෙන්නේ පාලිත මහත්තය නිසායැයි ඔහු පොඩි දරුවකු මෙන් හඬා වැලපුණාය.

වර්තමාන දේශපාලනඥයන්ට ජීවත් වන්නේ කොහොමද යන්න කදිම පාඩමක් කියාදුන් පාලිත දේහයට අවසන් ගෞරව දැක්වීමට කළුතර ප්‍රදේශයෙන් පමණක් නොව දිවයිනේ සතර දිග්භාගයෙන්ම ඔහුගේ මහජන සේවය අගය කළ ජනතාව, මහා සංඝයා වහන්සේ සිල් මෑණිවරුන් අන්‍ය ආගමික නායකයන් පැමිණ සිය අවසන් ගෞරවය දැක්වුයේ මිනිසකුගේ නික්ම යෑම අදහා ගනු බැරිව ඔහුට නිවන් සුව පතමිනි.