ණය ප්‍රතිව්‍යූහගතකරණය කඩිනමින් අවසන් කිරීමට සහාය දෙනවා -මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් හමුවේ ජපානය කියයි

අන්තර්ජාතික මූල්‍ය ආයතනවල සහාය ගනිමින් රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීමට සහාය දෙන බව ජපානය අවධාරණය කර තිබේ. අමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් නගරයේ දී මේ දිනවල පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුවට සහභාගි වී සිටින මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ සහ ජපානයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය මුදල් ඇමැති ෆුජි ඩඉජෝ මහත්වරු අතර පැවැති සාකච්ඡාවේ දී ජපාන ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය මුදල් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේයැයි මුදල් අමාත්‍යාංශය පවසයි.
ජපානය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් මිත්‍රත්වය සහ සබඳතාව මේ සාකච්ඡාවේ දී නැවත තහවුරු කළ අතර ශ්‍රී ලංකාව ලබා ඇති විශිෂ්ට ආර්ථික ප්‍රගතිය එහිදී අගය කර තිබෙන බව ද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි. මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත් කිරීමේ දී ජපානය ලබාදෙන සහාය අගය කර තිබෙන ශෙහාන් සේමසිංහ අද වනවිට දෙරට අතර සබඳතා වඩාත් ශක්තිමත් වී තිබෙන බවද සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ශක්තිමත් නායකත්වය සහ ආර්ථික කළමනාකරණය එහි දී පැසසුමට ලක් වූ අතර විශේෂයෙන්ම නිල ණය හිමි කමිටුවේ සම සභාපති ලෙස ශ්‍රී ලංකාව සඳහා ජපානයේ අඛණ්ඩ සහයෝගය දෙන බව ඒ මහතා පැවසූ බවද සේමසිංහ සඳහන් කරයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළ අතර, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉක්මණින් අවසන් කිරීමට ජපානයේ අඛණ්ඩ කැපවීම එහි දී සහතික කෙරිණි.