ගංවතුරට යට වූ ඩුබායි ගුවන්තොටුපොළ යළි මෙහෙයුම්

ගමන් වාර 300ක් අවලංගු කරලා

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගංවතුරෙන් යටවීම හේතුවෙන් ගුවන් ගමන් වාර 300ක් අවලංගු කිරීමටත්, තවත් ගුවන් ගමන් වාර 450ක් පමණ ප්‍රමාද කිරීමටත් සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ පස්වරුව වන විට ගුවන් මෙහෙයුම් සුළු වශයෙන් ආරම්භ කිරීමට ගුවන්තොටුපොළේ කළමනාකාරීත්වය පියවර ගෙන තිබුණද, ඒ වන විටත් සිය ගමනාන්ත කරා යෑමට නොහැකි වූ විශාල මගීන් පිරිසක් ගුවන්තොටුපොළේ සියලු පර්යන්තවල තවදුරටත් රැඳී සිටි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එමිරේට්ස් ඇතුළු ගල්ෆ් කලාපයේ රටවල් රැසකට දින කිහිපයක් පුරා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වැඩිම බලපෑම සිදුවී ඇත්තේ ඩුබායි ගුවන්තොටුපොළට බව ද වාර්තා වේ. වාර්ෂිකව මගීන් මිලියන 80ක් පමණ හුවමාරු වන ඩුබායි ගුවන්තොටුපොළ ලොව කාර්යබහුල ගුවන්තොටුපොළ අතුරින් දෙවැනි වන්නේ අමෙරිකාවේ ඇට්ලන්ටා ගුවන්තොටුපොළට පමණක් බැවින් එහි ගංවතුර තත්ත්වය හේතුවෙන් සෙසු රටවල ගුවන්ගමන්වලට ද බලපෑමක් එල්ල වූ බව වැඩිදුරටත් වාර්තා වේ.

පෙරේදා වන විට ඩුබායි ගුවන්තොටුපොළේ රැඳී සිටි අතිවිශාල මගීන් පිරිසට ආහාර සහ ජල හිඟයක් ද උද්ගත වී ඇති අතර, මගීන් අතර පැතිරී ගිය නොසන්සුන්තාව පාලනය කිරිමට ගුවන්තොටුපොළ බලධාරීන් දැඩි වෙහෙසක් ගත් බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.