පාකිස්තානයේ ෂියා මුස්ලිම් ප්‍රජාවට ත්‍රස්ත ප්‍රහාරයක අවදානමක්

පාකිස්තානයේ තහනම් ත්‍රස්ත සංවිධානයක් වන ටෙහ්රිකි තලේබාන් පාකිස්තාන සංවිධානය සහ තවත් සුන්නි මුස්ලිම් ප්‍රජාවට අයත් කණ්ඩායම් කිහිපයක් ඉදිරියේදී ගිල්ගිට් පළාතේ ෂියා මුස්ලිම් ජාතිකයන් ඉලක්ක කරමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇතැයි එරට දේශපාලන විශ්ලේෂකයකු වන ආචාර්ය සකරියා කරීම් අනාවරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ ප්‍රහාරය රජයේ ආරක්ෂක අංශවල දැනුවත් වීමකින් සිදුවන බවටත් සැක පහළ වී ඇතැයි ආචාර්යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ගිල්ගිට් පළාතේ පදිංචිව සිටින දහස් සංඛ්‍යාත ෂියා මුස්ලිම් ජනතාව සුන්නි මුස්ලිම් ප්‍රජාව වෙතින් එල්ල වන දැඩි භීෂණය මැද ජීවත් වන බවත්, එම පළාතට රජයේ අවධානය යොමු නොවන බවත් වැඩිදුරටත් වාර්තා වේ.

ඉරානය හැරුණු විට ෂියා මුස්ලිම් ප්‍රජාව බහුලව ජීවත්වන එකම පළාත ගිල්ගිට් පාකිස්තානය වන අතර, රජයේ හමුදාව වෙතින් සිදුවන බව කියන විවිධ හිංසන, ඝාතනය කිරිම් හේතුවෙන් මේ වන විට එම පළාතේ ෂියා මුස්ලිම් ප්‍රජාව සුළුතර ජාතියක් බවට පත් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.