ශ්‍රී ලංකාව ණය ගෙවාගත හැකි රටක් ලෙස ලෝකය පිළිගන්නවා – පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

ණය ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාවලිය සිදුකිරීම අත්‍යාවශ්‍ය කාරණයක් බවත්, එසේ කළොත් ශ්‍රී ලංකාව ණය ගෙවා ගැනීමට හැකි රටක් ලෙස ලෝකය පිළිගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය. (17) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ආණ්ඩුවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ප්‍රමාණවත් විනිවිදභාවයක් තිබිය යුතු බවත් මැයි මාසය අග වන විට ණය ප්‍රතිව්‍යුහගතකරණ එකඟතාවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැමිණි පසුව එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයා ලෙස කවුරු පත් වුවත් එම එකඟතා දිගටම කරගෙන යා යුතු බවත් කීවේය.

එහිදී ආචාර්ය හර්ෂ ද සිල්වා මෙසේ පැවසීය.

‘‘ශ්‍රී ලංකාව නිකුත් කර ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ බැඳුම්කර හිමියන් නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම සමඟ පැවති සාකච්ඡා අවසන් කළ බව රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා.

බැඳුම්කර හිමියන් නියෝජනය කරමින් මෙහෙයුම් කමිටුවේ (Steering Committee) සාමාජිකයන් මේ සාකච්ඡාවට සහභාගි වුණා. ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කරවල වටිනාකමින් සියයට 50කට වඩා අයිති පිරිසක් තමයි මෙහෙයුම් කමිටුවේ (Steering Committee) සිටියේ.රජය බලාපොරොත්තු වුණා අප්‍රේල් මාසය වනවිට මේ සාකච්ඡා අවසන් කර එකඟතාවකට එන්න. ඩොලර් බිලියන එකොළහක මුදල සහ ණය නොගෙවපු කාලයේ එකතු වුණු ඩොලර් බිලියන 1.7 එකතු කර ඩොලර් බිලියන දොළහ හමාරක පමණ ප්‍රමාණයක ණය ප්‍රතිව්‍යුහගතකරණ කර ගන්න එකඟතාවකට එන්න බලාපොරොත්තු වුණා.

2040 වනතුරු ශ්‍රී ලංකාව බැඳීමකට ලක්වෙන බවක් තමයි ශ්‍රී ලංකා රජය සහ බැඳුම්කර හිමියන් සමඟ පැවැති සාකච්ඡාවෙන් පෙනෙන්න තිබෙන්නේ. අවුරුදු ගණනාවකට ඉදිරියේදී තමයි ණය ප්‍රතිව්‍යුහගතකරණ කරගන්න එකඟතාවකට පැමිණෙන්න වර්තමාන රජය බලාපොරොත්තු වෙනවා. නමුත් වර්තමාන අණ්ඩුව තිබෙන්නේ තව මාස 6ක කාලයක. ණය ප්‍රතිව්‍යුහගතකරණ කර ගන්න ආණ්ඩුව 2040 දී එකඟතාවකට එනවා නම් ආණ්ඩුවේ ක්‍රියා කලාපයෙන් එහාට ගිහින් විපක්ෂයේ මතයත් එකතු කරගන්න.

මැයි මාසයේ අග වනවිට ණය ප්‍රතිව්‍යුහගතකරණ එකඟතාවකට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පැමිණ ජනාධිපතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාස ජනාධිපති වුණොත් එම එකඟතාව දිගටම අරගෙන යන්න ඕනෑ.”