ඉලක්කගත කාර්යභාරයක් වෙනුවෙන් සියලු රාජ්‍ය නිලධාරීන් එක් විය යුතුයි – අගමැති දිනේෂ් ගුණවර්ධන

ඉදිරි කාලයේ ඉලක්ක සහගත කාර්යභාරයක් වෙනුවෙන් සියලු රාජ්‍ය නිලධාරීන් අධිෂ්ඨාන සහගතව එක් විය යුතු බව අගමැති දිනේෂ් ගුණවර්ධන පැවැසීය. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේදී පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

පසුගිය වසරේ පැවති දුෂ්කර තත්ත්වය අවම කරගැනීමට රාජ්‍ය නිලධාරින් කැප වීමෙන් කටයුතු කිරීම ගැන ස්තුතිය පුද කළ අගමැතිවරයා ඉදිරි කාලය වෙනුවෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට සිදු කරගෙන යෑම සඳහා සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බව පැවසීය. රජයේ මැදිහත් වීම නිසා ජනතාව හා රාජ්‍ය නිලධාරීන් තුළ නව විශ්වාසයක් ජනිත වී ඇති බවත්, ඒ විශ්වාසය බල ගන්වමින් ජනතාවගේ ජන ජීවිතයේ සාධනීය වෙනසක් ඇති කිරීමට කැප විය යුතු බවත් අගමැතිවරයා කියා සිටියේය. ජනතාව සතුට පත් වීම රජයේ හා රාජ්‍ය නිලධාරීන්ගේ සාර්ථකත්වය බව අගමැතිවරයා ප්‍රකාශ කළේය.

අගමැතිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය:

“රටේ සමස්ත භූමි ප්‍රදේශයම ආවරණය වන ප්‍රබලතම හා ජන ජීවිතයට අතිශය සමීපතම අමාත්‍යාංශ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයයි. එහි සේවය කරන ඔබ සියලු දෙනා මහා ජාතික වගකීමක කොටස්කරුවන් වීමේ අයිතිය භුක්ති විඳිනවා ඇතැයි මා අපේක්ෂා කරනවා. දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ක්‍රියාත්මක වන ග්‍රාමීය සංවර්ධන කටයුතු වේගවත් කිරීමට හා පළාත් සභා හා පළාත් පාලන ආයතන මඟින් සිදු වන ජනතා සේවාවන් වඩා කාර්යක්ෂමව සිදු කිරීම උදෙසා ඔබ සියලු දෙනාගේ කැප වීම මා විශේෂයෙන් අපේක්ෂා කරනවා.”

මේ අවස්ථාවට ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු සහභාගි වී සිටියහ.