සිංගප්පූරුවේදී සිංහල-දමිළ අලුත් අවුරුදු උලෙළ ඉහළින් සමරයි

සිංහල දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය, මහා කරුණා බෞද්ධ සංගමය හා සිංහල බෞද්ධ සංගමය එක්ව සංවිධාන කළ සංස්කෘතික උලෙළ අප්‍රේල් 14 වැනිදා සන්ධ්‍යාවේ දී සෙරන්ගූන්හි PGP ශාලාවේදී පැවැත්විණි.

උඩරට පහතරට නර්තනාංග හා බෙරවාදන, භරත නැටුම් මෙන්ම සිංගප්පූරුවේ සිංහ නැටුම් ආදී ප්‍රාසාංගික අංගයන් ගණනාවකින් මෙම උලෙළ වර්ණවත් විය.
සිංගප්පූරුවේ ජ්‍යේෂ්ඨ රාජ්‍ය ආරක්ෂක ඇමැති හෙංග් චී හව්, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෙනරත් දිසානායක, ඉන්දියා මහකොමසාරිස් ෂිල්පක් අම්බුල්, අමෙරිකා තානාපති ජොනතන් එරික් කප්ලාන් මෙම උලෙළේ ප්‍රධාන ආරාධිතයෝ වූහ.
සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සමරන ශ්‍රී ලාංකික සිංගප්පූරු ප්‍රජාවට හා ශ්‍රී ලංකාවාසී ජනතාවට සුබපැතුම් පිරිනමමින් සිය අදහස් දැක්වූ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෙනරත් දිසානායක පෙන්වා දුන්නේ ශ්‍රී ලාංකේය සංස්කෘතික උරුමය විදහා දැක්වීම සඳහා මෙවැනි උලෙළ වැදගත් වන බවය.
අපේ සංස්කෘතිය රැකගනිමින් හා පෝෂණය කරමින් සිංගප්පූරුවේ ජීවත්වන ලාංකිකයන් ලෙස එය මතුපරම්පරාවන්ට ද ගෙන යෑම මෙම ප්‍රජාව හමුවේ ඇති වගකීමකි.
මහකොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේ, සිංගප්පූරුව තුළ මනාව පිළිබිඹු වන බහු සංස්කෘතික විවිධත්වය හා එය රැකගැනීම වෙනුවෙන් සිංගප්පූරු රජයේ කැපවීම වත්මන් ගෝලීය සන්දර්භය සලකන විට ලොව සෙසු රටවලට ද ආදර්ශයක් බවය. සිංගප්පූරුවාසී ශ්‍රී ලාංකිකයන් එරට බහු සංස්කෘතික සමාජයේ විවිධ ක්ෂේත්‍රවල ලබාදෙමින් ඇති වැදගත් දායකත්වය අවධාරණය කළ මහකොමසාරිස්වරයා එම ශ්‍රී ලාංකිකයන් සිංගප්පූරු ජාතිකයන් සමඟ මනාව මුසුවෙමින් එම සංස්කෘතික විවිධත්වය වර්ණවත් කිරීමට දායක වී ඇතැයිද සඳහන් කළේය.
මෙවැන්නක් සංවිධාන කිරීමට එක්වීම පිළිබඳ සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයටත් සිංහල බෞද්ධ සංගමයටත් මහකොමසාරිස්වරයා සිය ස්තුතිය පුද කළේය.
විවිධ ආගමික පූජක උතුමන්, දූත මණ්ඩල නිලධාරින්, සිංගප්පූරුවාසී ශ්‍රී ලාංකිකයන්, සිංගප්පූරු ජාතිකයන් ඇතුළු 500කට අධික පිරිසක් මෙම අලුත් අවුරුදු සංස්කෘතික උලෙළට එක්ව සිටියහ.