පින්නවල අලි නිවහනේ අලුත් අවුරුද්දේ තවත් අලි උපතක්

භරණ’ ලෙස නම් තැබීම හිස තෙල් ගෑමේ උත්සවයේදී

පින්නවල අලි නිවහනේ උපන් 76 වන අලි පැටියා භරණ ලෙස නම් කර ඇත.ඉකුත් මාර්තු මස 20 වැනි දිනට යෙදී තිබුණු සතුට පිරුණ දවස උපන් මේ අලි පැටියා පින්නවල අලි අනාථාගාරයේ උපන් 76 වන අලි පැටියා ලෙස ලේඛනගත විය.

‘භරණ’ ලෙස නම තැබීම ඉකුත් 15 වැනි දිනට යෙදී තිබුණු හිස තෙල් ගෑමේ උත්සව අවස්ථාවේදී සිදු කෙරිණි. පින්නවල අලි අනාථාගාරයේ ශාන්ති කෙනරට දාව උපන් මේ අලි පැටියාට නමක් යෝජනා කිරීම ජනතාවට අවස්ථාව ලබාදීමත් සමඟ මහනුවර හන්තානේ පදිංචි ඩී.ජේ.ජී. අනුරාධ සුබසිංහ විසින් භරණ යන නම යෝජනා කර තිබිණි.

අලි පැටියාගේ නම සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රන්ජන් මාරසිංහ විසින් ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසු උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් විසින් එම නම උප්පැන්න සහතිකයට ඇතුළත් කිරීම සිදු කරනු ලැබීය. අලි පැටියාට නම යෝජනා කළ මහනුවර හන්තානේ පදිංචි ඩී.ජේ.ජී. අනුරාධ සුබසිංහට ත්‍යාග ලබාදීම සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රන්ජන් මාරසිංහ අතින් සිදු කෙරිණි.

පින්නවල අලි අනාථාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නවෝත් වීරසිංහ, පින්නවල සත්ත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මිහිරාන් මැදවල ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.