සිමෙන්ති ජිරාෆ් හෙට්ටිපොළ කෝටිපතියාගේ එකම පුතු බිලි ගනියි

කෝටිපති ව්‍යාපාරිකයකුගේ නි‍ෙවස ඉදිරිපිට අලංකාරයට තබා තිබූ සිමෙන්තිවලින් තනන ලද ජිරාෆ් සතෙකුගේ අනුරුවක් අවුරුදු දා (14) ව්‍යාපාරිකයාගේ එකම පුතුගේ ඇඟ මතට වැටී බරපතළ තුවාල ලබා මියගොස් ඇතැයි හෙට්ටිපොළ පොලිසිය කියයි. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ හෙට්ටිපොළ, මන්දපොළ, ජයසිරිගම පදිංචිව සිටි හෙට්ටිපොළ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි හිටිහාමි මුදියන්සේලාගේ චේතිය දෙනුවන් ජයතිලක අට හැවිරිදි දරුවාය. මියගිය දරුවාට වැඩිමහල් සහෝදරියක් සහ බාල සහෝදරියක් සිටින අතර දරුවා පෙරේදා (14) සවස සිය මව අමතා නිවසට මඳක් ඈතින් තිබෙන Òකිරි අත්තලගේ ගෙදර ඔන්චිලි පැදලා එන්නදැයිÓ මවගෙන් විමසා තිබූ බව පොලිසිය කියයි. ඉක්මනට එන්න පුතේ යැයි පවසා මව අවසර ලබාදීමත් සමඟම නිවසින් පිටවී තිබූ දරුවා ඔන්චිලි පැදීම සඳහා නොගොස් නි‍ෙවස ඉදිරිපිට ගේට්ටුව දෙපස තිබෙන අලි දෙදෙනා මතටද නැඟී මඳ වේලාවක් සිට අනතුරුව පදිංචි දෙමහල් නිවස ඉදිරිපිට අඩි 3ක පමණ උසින් යුත් වටරවුමක් තිබෙන ස්ථානයක මැද මුනින් අතට නවා තිබූ මල් පෝච්චියක් මතට නැඟ ඒ අසල තිබූ අඩි 8ක් පමණ උසින් යුත් සිමෙන්තිවලින් තනන ලද ජිරාෆ් සතාගේ පිළිරුව මතට නැඟ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම අවස්ථාවේදී මව මුළුතැන්ගෙයි සිට ඇති අතර දරුවා ජිරාෆ්ගේ බෙල්ලේ එල්ලීම සඳහා උත්සාහ දැරීමේදී අඩි 1 ½ පළලැති කොන්ක්‍රීට් තට්ටුව මත තිබෙන ජිරාෆ් සතාගේ පිළිරුව සමඟ දරුවා වැටී ඇති අතර සිමෙන්තිවලින් තනන ලද ජිරාෆ් අනුරුවේ ගෙල දෙකට කැඩී එහි කොටසක් දරුවාගේ පපු පෙදෙසට වැදී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඉතා ආයාසයෙන් එම ස්ථානයෙන් නැඟිට ගත් දරුවා මුළුතැන්ගෙට ගොස් අම්මේ මම ජිරාෆ්ගෙන් වැටුණා යැයි පවසා ඇති අතර ඒ සමඟම මව මිදුලට පැමිණ පරීක්ෂා කිරීමේදී මිදුල ඉදිරිපිට තිබූ ජිරාෆ් පිළිරූ දෙකෙන් එකක් බිමට වැටී තිබෙන අයුරු දැක තිබූ බව පොලිසිය සඳහන් කරයි.

අනතුරුව වහා ක්‍රියාත්මක වූ මව ඒ බව ව්‍යාපාරික සැමියාට දැනුම් දී සහෝදරයකු සමඟ දරුවාව හෙට්ටිපොළ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් කරා රැගෙන ගොස් ඇති අතර වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා දරුවාව කුලියාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යන ලෙස උපදෙස් ලබා දී තිබූ බව පොලිසිය කියයි. කුලියාපිටිය ශික්ෂණ රෝහල වෙත දරුවා රැගෙන යාමෙන් අනතුරුව එහි වෛද්‍යවරුන් දැඩි පරිශ්‍රමයක් දරා දරුවාගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ දැරුවද රාත්‍රි 8.45 පමණ වන විට දරුවා මියගොස් ඇතැයි පොලිසිය කියයි.

හෙට්ටිපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත බණ්ඩාරගේ උපදෙස් මත පොලිස් සැරයන් (59861) බාලසූරිය පරීක්ෂණ පවත්වයි.