බීරූට් අවුරුදු උත්සවයට ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද නිමිතිකොට ගෙන ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පැවැත්වූ අවුරුදු උත්සවය (15) දවස පුරා ලෙබනනයේ බීරූට්හි දී ලෙබනනයේ සහ සිරියාවේ ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීරගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

අවුරුදු සංස්කෘතික අංග හා අවුරුදු ක්‍රීඩා රැසක් සමඟ පැවති මෙම අවුරුදු උත්සවයට ලෙබනනයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් දහසකට අධික පිරිසක් සහභාගීවීම ද විශේෂත්වයකි.

ලෙබනනයේ පිහිටි ශ්‍රී ලාංකික සිංහල සංවිධාන සියල්ලගේම සහ විවිධ කමිටු සියල්ලගේම සහයෝගයෙන් පැවති මෙම අවුරුදු උත්සවය සංවිධාන කරන ලද්දේ ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසිනි. ළමා සහ වැඩිහිටි අංග වෙනුවෙන් අවුරුදු ක්‍රීඩා තරඟ රැසක් පැවැත්වූ අතර ජයග්‍රහකයන් සඳහා වටිනා ත්‍යාගද ප්‍රදානය කෙරිණ.

මෙම අවස්ථාවට එක් වූ ලෙබනනයේ සහ සිරියාවේ ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර ප්‍රකාශ කෙළේ ලෙබනනයේ ජීවත්වන සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සූදානම් කරන ලද මෙම අවුරුදු උත්සවයට විශාල පිරිසක් පැමිණීම ගැන තමන් සතුටු වන බවත් සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් තම තානාපති කාර්යාලය උපරිම සහයෝගයෙන් කටයුතු කරන බවත්ය.

අවුරුදු උත්සවය අවසානයේදී සංගීත ප්‍රසංගයක්ද පැවැත්වුණි