ස්වෛරී බැඳුම්කර ණය හිමියන් සමඟ දෙවැනි වටයේ සාකච්ඡා කඩිනමින්

අමෙරිකාවේ වොෂින්ටන්හි පැවැත්වෙන ලෝක බැංකු රැස්වීම සඳහා ගොස් සිටින කණ්ඩායම එම රැස්වීම අවසන්ව නැවත මෙරටට පැමිණි පසු රජයේ නියෝජිතයන් පිරිසක් ලන්ඩනයේදී ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය හිමියන් සමඟ සාකච්ඡා නැවත ආරම්භ කරන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක ජනමාධ්‍යවේදීන් සමඟ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී (15) පැවැති සාකච්ඡාවකදී පැවසීය.

ස්වෛරී බැඳුම්කර හිමියන් සහ රජය අතර පැවැත්වීමට නියමිත මීළඟ සාකච්ඡා වට ඉතා සාර්ථක වනු ඇතැයි මෙහිදී අදහස් පළ කළ ඒ මහතා, බැඳුම්කර හිමිකරුවන් සමඟ සමීපව කටයුතු කරමින් සහ නම්‍යශීලී ලෙස සාකච්ඡාවලට එළඹීම තුළ ඉදිරියේදී වඩාත් සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකි බවද කීවේය. එමෙන්ම කඩිනම් සාකච්ඡා මඟින් ධනාත්මක ප්‍රතිඵල අපේක්ෂා කරන බවට ද රත්නායක සඳහන් කළේය.

ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ පැවැත්වෙන මෙම සාකච්ඡා සඳහා නීති උපදේශක සහ මූල්‍ය උපදේශක කණ්ඩායම්වලද සහාය ලබා ගැනීමට නියමිතය. මෙම කරුණු සම්බන්ධයෙන් මූලික සාකච්ඡා වටයක් පසුගිය මාර්තු මාසයේදී ලන්ඩන් නුවරදී පැවැත්වුණු අතර එහිදී ප්‍රධාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන් එකඟතාවකට පැමිණ ඇති බවද ඔහු සඳහන් කළේය. මෙම සාකච්ඡා සාර්ථක ලෙස පැවැති අතර එහිදී කරුණු රැසක් පිළිබඳව එකඟතා ඇතිව තිබේ. මෙහිදී ප්‍රධාන කරුණු හතරක් පිළිබඳව සාකච්ඡා කළ අතර එයින් කරුණු දෙකක් පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා පවත්වා ස්වෛරී බැඳුම්කර හිමියන් සහ රජය අතර එකඟතා ඇති කර ගැනීමට නියමිතය. ශ්‍රී ලංකාවට අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ තුන්වන වාරිකය නිකුත් කිරීම ජූනි මාසයේදී සිදුවීමට නියමිතව තිබෙන අතර එම ණය වාරිකය ලබා ගැනීමට පෙර බැඳුම්කර හිමිකරුවන් සමඟ සාකච්ඡා කර අවසාන විසඳුමකට යොමු වන බවට සාගල රත්නායක සිය විශ්වාසය පළ කළේය.මාස කිහිපයක කෙටි කාලයක් තුළ අවශ්‍ය එකඟතා ඇති කර ගැනීම මඟින් ගැටලුවකින් තොරව අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ තෙවන ණය වාරිකය ලබා ගැනීමට හැකියාව තිබේ.

ප්‍රංශයේ පැරිස් හි පිහිටි ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ විශේෂඥ ආයතන දෙකක්වන Lazard Institute of France සහ Clifford Chance LLP Institute ශ්‍රී ලංකාවේ ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව අවශ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු සිදු කරනු ලබයි.