අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගවලින් මිලියන 191ක වාර්තාගත ආදායමක්

අලුත් අවුරුදු උත්සව සමය යෙදුණු ඉකුත් සතියේ 10 වැනිදා සිට (15) අලුයම 6 දක්වා වූ කාලය තුළ අධිවේගී මර්ගවලින් රුපියල් මිලියන 191ක වාර්තාගත ආදායමක් ලැබී තිබේ.

මේ අතර (14) දිනයේදී රුපියල් මිලියන 40ක ආදායමක් හිමි කර ගෙන තිබේ. මෙහිදී දින 5කදී වාහන පන්ලක්ෂ පනස්දහසක් ධාවනය වී ඇති බව වාර්තා වේ.

ඉකුත් 10දා සිට මේ දක්වා අධිවේගී මාර්ගවල රථ වාහන ලක්ෂ පහමාරක් පමණ ධාවනය වී ඇත.

එම කාලය තුළ අධිවේගී මාර්ගවල රථවාහන ධාවනය සියයට 10කින් පමණ ඉහළ ගිය බව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ අධ්‍යක්ෂ ආර්.අයි.ඩී.කහටපිටිය පැවසීය.

අධිවේගී මාර්ගවලින් ඉකුත් 13 වැනිදා පමණක් හාරකෝටි හතළිස් ලක්ෂයක ආදායමක් ලැබී ඇති අතර වැඩිම එක් දින ආදායමද මෙය බව ඒ මහතා කීවේය. එදින රථවාහන එක් ලක්ෂ විසි අට දහසක් ධාවනය වී තිබේ.

අධිවේගී මාර්ග සඳහා රථවාහන ඇතුළත් කිරීමේදී වාහනය පරීක්ෂා කර අධිවේගී මාර්ගවල ධාවනය කිරීමට සුදුසුනම් පමණක් ඇතුළු කරන ලෙස ඒ මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

අප්‍රේල් 14දා දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටුවල යම් වාහන තදබදයක් ඇතිවූ බව කී ඒ මහතා තදබදය අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග ගෙන ඇතැයිද කීවේය.